වරායෙන් මුදා ගත් සුදුළූණු පිට පාරේ ගියේ කොහොම ද? 4 කට අනිවාර්ය නිවාඩු

by Staff Writer . 14-09-2021 | 10:18 PM

COLOMBO (NEWS1ST) :  වරායෙන් මුදාගත් සුදුළූණු බහාලුම් දෙකක් ලංකා සතොසට දෙන මුවාවෙන් වෙනත් ව්‍යාපාරිකයෙකුට මුදාහැරීම පිළිබඳව එම භාණ්ඩ ආනයනය කළ ආයතනය අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කළේ ය.

මෙම සුදුළූණු මෙරටට අනායනය කර තිබුණේ , එන්රිචර් ඉන්වෙස්මන්ට් ලංකා සංමාගමයි. තමන් ආනයන කර තිබූ කන්ටේනර් 18 කින් සුදුළූණු කන්ටේනර් 02 ක් හොර රහසේ වරායෙන් නිදහස් කර ඇති බවට එම පෞද්ගලික සමාගම චෝදනා කරයි. මේ පිළිබඳව අදාළ සමාගමේ නියෝජිතයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. සුදුළූණු ආනයනය කළ සමාගමේ නීතීඥ හරිත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඉහල දූෂීත නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව ඉතාමත් වංචනික ලෙස බහාලුම්වල ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාහිර පාර්ශවයන්ට විකිණීමක් සිද්ධ කර ඇති බවයි. සැපැතැම්බර් 9 වැනිදා මෙම සුදුළූණූ තොගය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හදිසියේ සොයා බැලීමක් සිදු කළේ ඇයි? මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පැවසුවේ, සතොසේ මෙවන් ගනුදෙනුවක් සිදු වන බවට තොරතුරක් ලැබුණු බවක් ඒ අනුව කණ්ඩායමක් පිටත් කර හැරි බවත් ය. අත්‍යවශය භාණ්ඩ සතොස අලෙවි සැල් හරහා ජනතාවට සහන මිලට ලබාදීමට කැබිනට් මණඩලය ගත් තීරණයත් මෙම සුදුළූණු තොගය මුදා ගැනීමට බලපෑවේ ය. වරායෙන් මුදාගත් බහාලූම් දෙකක තිබු සුදුළූණු කිලෝග්‍රෑම් 56000 ක් හොර පාරේ ව්‍යාපාරිකයෙකු අලෙවි කර ඇති බව පාරිභෝගික ආරක්ෂන අධිකාරිය කළ විමර්ශනයේදී හෙළිවිය. මෙහි වැඩිදුර විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදත් වැටලීමක් සිදු කළේ ය. වරායෙන් මුදාගත් සුදුලුනු කන්ටේනර් දෙක දැන් තිබෙන්නේ කොහේද? මේ ගැන තොරතුරු සොයාගත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරිහු සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තිය සමිති නියෝජීතවරු කෙරවලපිටියේ පිහිටි ගබඩා සංකීර්ණයක් පරීක්ෂා කළහ. මේ ස්ථානයේ මුද්‍රතැබු කන්ටේනර් දෙකක් තිබෙන අයුරු දක්නට ලැබිණ. මේ සම්බන්ධයෙන් අප ලංකා සතොස ආයතනයේ සභාපති රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, සුදුළූණු වංචාව සම්බන්ධයෙන් මේ වනවිට නිලධාරින් සිව්දෙනෙකු ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි. ආයතනය මගින් සිදුකරන පරික්ෂණයක වාර්තාවක් තමන්වෙත හෙට ලැබෙන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කරන්නේ, හදිසී නීතිය දැම්මේ පාරිභෝගිකයා සූරාගෙන කන කළු කඩ මාෆියාවට විරාමයක් තැබීමට නම්, පනත සම්මත වෙලා පැය 24 ක් යන්නට මත්තෙන් වරායේ තිබූ කන්ටේනර් 02 ක් හොර පරෛන් එළියට ගියේ කෙසේ ද යන්නයි.