ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

by Nadeeshan Meedin 14-09-2021 | 6:42 PM
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී ක්‍රීඩකයෙකු වූ සපරමාදු ලසිත් මාලිංග එසේත් නැතහොත් ලසිත් මාලිංග අද(14) ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මීට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් හා එක්දින ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන සිටි මාලිංග අද පන්දුවාර 20-20 පිටියෙන් ද විශ්‍රාම ගන්නා බව ට්විටර් පණිවුඩයක් හා යූටියුබ් පණිවිඩයක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ. මීට වසර 17 කට පෙර 2004 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනිමින් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ මාලිංග ටෙස්ට් තරග 30ක දී කඩුලු 101ක් දවාගෙන සිටියදී තම ආබාධ හේතුවෙන් සමුදුන් අතර, තරග 226 ක දී එක්දින කඩුලු 338ක් දවා ගැනීමට සමත් විය. ලොව ක්‍රිකට් ලොලීන්ගේ ආකර්ෂණය හා ආදරය නොමදව දිනාගත් ලසිත් මාලිංග පන්දුවාර 20-20 ක්‍රිකට් පිටියේ නැතිවම බැරි සුවිශේෂී ක්‍රීඩකයෙකු විය. ජාත්‍යන්තර පන්දුවාර 20-20 තරග 84 ක‌ට සහභාගීවූ ලසිත් මාලිංග කඩුලු 107 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ ඉතිහාසයේ 20-20 ජාත්‍යන්තර තරගවල වැඩිම කඩුලු ලාභියා ලෙසය. ඔහු පළමු පෙළ පන්දුවාර 20-20 තරග 295ක දී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 390 කි. යෝකර් පන්දුවෙන් ලොවම වශී කළ ලසිත් මාලිංග වාර්තා අතරට එක්වන්නේ පන්දු 4 ක දී කඩුලු 4 ක් දවා ගත් අවස්ථා දෙකක් කඩුලු ත්‍රිත්වයන් 03ක් වාර්තා කළ සුවිශේෂී පන්දු යවන්නෙකු ලෙසය. මාලිංග තම සමුගැනීම ප්‍රකාශ කරමින් පවසන්නේ, ඉදිරියේ දී තම දැනුම තරුණ ක්‍රීඩකයන්ට ලබා දීම සඳහා කාලය වැය කිරීමට අදහස් කරමින් සිටින බවය. https://www.youtube.com/watch?v=nzCYYRu4R5I 38 හැවිරිදි වියේ පසුවන ලසිත් මාලිංග, 2014 පන්දුවාර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී නායකත්වය දරමින් ලෝක කුසලානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ප්‍රමුඛව කටයුතු කළේය. https://www.youtube.com/watch?v=ezSbLCAMXa4 https://www.youtube.com/watch?v=9Z-qBhKhLiM