පළාත් සභා මන්ත්‍රී ධුරය අහිමි වූ නඩු තීන්දුව

මැතිවරණ සමයේ අල්ලස් දුන්නොත් වැඩ වරදී, මොණරාගල මන්ත්‍රීවරයෙකුට සුවිශේෂි නඩු තීන්දුවක්..

by Staff writer 14-09-2021 | 10:05 PM

COLOMBO (News 1st) - ඡන්ද දායකයින්ට අල්ලස් ලබාදී මැතිවරණ ජය ගතහොත් ධුරය අහිමි කළ හැකි වන සුවිශේෂි නඩු තීන්දුවක් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබාදෙනු ලැබ තිබේ.

ඒ, පැෆ්රල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානය විසින් ගොනුකළ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමිනි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයෙක් අපේක්ෂකයෙකු මැතිවරණ සමයේ ඡන්ද දායකයින්ට අල්ලස් දීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම නඩුව ගොනු කර තිබුණි. විනිසුරු රංග දිසානායක මහතාගේ තීන්දුවට අනුව එම අපේක්ෂකයා මන්ත්‍රී ධුරයෙන් ඉවත්කොට ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත් කිරීමට නියෝගයක් ලැබුණි. මෙම ඓතිහාසික තීන්දුව ලබා ගැනීමේදී තොරතුරු දැනගැනීමේ පනත බෙහෙවින් උපකාරි වූ බව පැෆ්රල් සංවිධානය පවසයි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා,
ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ සමස්ත රටේ ජයග‍්‍රහණයක් හැටියට දක්වන්නට කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ජනතාවගේ ජයග්‍රහණයක්. මේ රටේ ආර්ථික ශක්තිය තියෙන, මුදල් වියදම් කරලා මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා තියෙන සමාජ මතය දුරුකරන්නට මේ ජයග්‍රහණයත් සමගම අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතාමත්ම අභියෝග රාශියක් මැද තමයි මේ නඩුව අපිට පවත්වාගෙන යන්න තිබුණේ. ඉතින් ඒ නිසා ඒ ජයග්‍රහණය මේ වෙලාවේ මං හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය අගයන මේ රටේ සෑම පුරවැසියෙක්ම ලැබු ජයග්‍රහණයක් හැටියට අපි අර්ථ දක්වන්නට කැමතියි.