by Staff Writer . 14-09-2021 | 10:32 AM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රියේ බිඳවැටීමට ලක්විය.
මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ ය.
icta.lk / lgii.gov.lk / home - e-thaksalawa / mfa.gov.lk
ඊයේ රාත්‍රියේ එලෙස බිඳ වැටුණ ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රදවා තිබූ වෙබ් අඩෙවි කිහිපයකි.
මේ සිදුවීම සිදුව ඇත්තේ මෙම අධිසංවේදී පද්ධතිය යාවත්කාලීන කරන ක්‍රියාවලියේදී බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිවරයා අද පිළිගත්තේ ය.
දත්ත යාවත්කාලීන කිරීම හරහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත තවදුරටත් මැකී ගොස් සාක්ෂි අහිමිවිය හැකි බැවින් ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වමින් පසුගිය 9 වැනිදා දුන් නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ඉවත් කළේ ය.
පසුගිය 9 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් විභාග වූ නඩුවේදී අධිකරණය හමුවේ අවධාරණය කෙරුණේ, අදාළ යාවත්කාලීන කිරීම සිදුවුවහොත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය සතු අධිසංවේදී දත්ත මැකීයාම සම්බන්ධ සාක්ෂි ද අහිමිවී යා හැකි බවයි.
ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය යළි යාවත්කාලීන කළ බව දැන් තහවුරු වී තිබේ.
පරීක්ෂණයකට අදාළ වූ වැදගත් තාක්ෂණික උපාංග හා මෘදුකාංග මෙම යාවත්කාලින ක්‍රියාවලියේදී වෙනස් විය හැකි බැවින් ඉවත් කරන ලද හාඩ් ඩිස්ක් හා මෘදුකාංගවලට හානියක් සිදුනොවීමට වග බලා ගැනීම ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වැදගත් වගකීමකි.
පසුගිය ජුලි මස 9 වැනිදා මෙලෙස මැකී ගියේ රටේ අතිශය සංවේදී දත්ත පද්ධතියකි.
මේ දත්ත පද්ධතිය සතුවූ අතිශය සංවේදී ඖෂධ සහ ඖෂධ උපකරණ ගොනු පද්ධතියක් මෙහිදී අතුරුදන් විය.
ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණායතනය සතු ලංකා ක්ලවුඩය යනු අපේ රටේ සංරක්ෂිතම ස්ථානයක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා ක්ලව්ඩයේ තිබෙන දත්ත ඩිලීට් වුණා නම්, එහිත් බැකප් නැත්නම්, මෙම පද්ධතියේ ඇති අනෙකුත් ඉතාමත් සංවේදී ජාතික ආරක්ෂාවටද අදාළ වන දත්ත පිළිබඳව දිය හැකි සහතිකය කුමක්ද ?
ICTA ඒ හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය යනු රටට හා ජනතාවට වගකියන ජනතාවට වගකියන ආයතනයකි.
දැන් ජනතාව බලා සිටින්නේ රටට වගකියන එහි වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ජනතා වගකීම් ඉටුකරන්නේ කෙසේද ? කියායි.