දත්ත මගඩිය පිටුපස සිටිනා මහ මොළකරු කවුද?

දත්ත මගඩිය ත් ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නම්, එහි මහ මොළකරු කවුද?

by Staff Writer . 13-09-2021 | 9:47 PM

COLOMBO (NEWS1ST) : ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ඖෂධ හා උපකරණ මෙරටට ආනයනය කර නීති විරෝධී අන්දමින් මුදල් ඉපැයීම සිදුකරන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද අවධාරණය කළේ ය.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමිනි. දත්ත යාවත්කාලීන කිරීම හරහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත තවදුරටත් මැකී ගොස් සාක්ෂි අහිමිවිය හැකි බැවින් ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වමින් පසුගිය 9 වැනිදා දුන් නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඉවත් කළේ ය. අයි.සී.ටී.ඒ. සභාපති ඕෂධ සේනානායක මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, තමන් සතුව තවත් ආයතනවල දත්ත භාරකරත්වය ඇති බැවින් ඖෂධ නියාමන අධිකාරියේ සිද්ධිය මුල්කරගෙන ඒවා යාවත්කාලීන කිරීමෙන් වැළකී සිටිය නොහැකි බවයි. කොවිඩ් වසංගතයත් සමග මතුව ඇති සංකීර්ණ හා ව්‍යාකූල පසුබිමෙක ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ ඖෂධ නියාමන අධිකාරියේ අතිශය සංවේදී තොරතුරු පද්ධතිය මැකීයාම වාර්තාවුණේ පසුගිය ජුලි 9 වැනිදායි. මෙහි තිබු‍ණේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ සැපයුම් තොරතුරු හා ඉතා වැදගත් ඖෂධ වට්ටෝරුයි. මේ ගැන ජූලි 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කෙරිණ. එපික් සමාගමේ ප්‍රධාන විධායකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ සැප්තැම්බර් 9 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ. මගින් පාලනය වන ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතිය යාවත්කාලීන නොකරන ලෙසයි. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, එලෙස මැකී ගොස් ඇත්තේ මෙරටට ඖෂධ හා උපකරණ ආනයනය කරන සමාගම්වල නම් හා එම සමාගම් විසින් ආනයනය කර ඇති ඖෂධවල හා උපකරණවල නම් බවයි. ඖෂධ නියමන අධිකාරියේ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරිමේ ගැටලුව විසඳා ගත යුත්තේ දෙපාර්ශ්වය බවත් ඒ සඳහා අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අද පෙන්වා දුන්නේ ය. කෙසේවෙතත් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසුවේ, දත්ත පද්ධතිය මැකී යාමෙන් එකම ඖෂධය විවිධ වෙළඳ නාමවලින් ආනයනය කරනු ලබන ඖෂධ සමාගම් තමන් කැමති මිල ගණන්වලට ඒවා අලෙවි කිරීමේ අවදානමක් පවතින බවයි. එම දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමටයි. එම වගකීම, අදාළ සමාගම නිසි ලෙස ඉටු කර නැතිබ බව පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු ඉල්ලා සිටියේ පුළුල් විමර්ශනයක් කරන ලෙසයි. අද නඩුව කැඳවූ අවස්ථාවේ එපික් සමාගමේ ප්‍රධාන විධායක තරීන්ද්‍ර කල්පගේ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය. නඩුව ලබන දෙසැම්බර් 09 වැනිදා යළි කැදවීමට නියමිතයි.

NMRA දත්ත පද්ධතියේ ආරක්ෂාවට උපදේශන සේවා සැපයූ ICTA ආයතනය ගිවිසුම් ගත වන විට පද්ධතියක අවශ්‍යතාව වගන්ති ගත කළා ද?

එපික් සමාගම ඩිසාස්ටර් රිකවරි සිස්ටම් එකක් නොමැතිව ක්ලවුඩ් ගත කළේ කෙසේ ද?

NMRA ආයතනයේ දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමට හිමිකාරිත්වය ලබාදුන් එපික් ආයතනයේ නිල වෙබ් පිටුවට අනුව එහි පැහැදිලිව දක්නට ඇත්තේ NMRA හෙවත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා උපදේශන ආයතනය ලෙස කටයුතු කරන්නේ අයි.සී.ටී.ඒ හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය බවයි. එසේ නම් ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් හෙවත් ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හිමිකාරිත්වයේ වගකීම දරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මෙම ක්‍රියාවලියට වගකිව යුතු නැද්ද? 2020 ජනවාරි මස 13 වැනිදාතමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතන ප්‍රධානින්ට දැනුම් දී ඇත්තේ ඔවුන් වෙන් වෙන් වශයෙන් සිදුකිරීමට සූදානම්වන ඩිජිටල් කරණය යහපත් වුවත් එය සියලු රාජ්‍ය යාන්ත්‍රණයම එක්ව සිදුකිරීම වඩාත් වැදගත් බවයි. එබැවින් ICTA ආයතනය ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් සකසන බවත් රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය කිරීමේදී ICTA ආයතනයේ උපදෙස් මත එක් ක්‍රමවේදයක් යටතේ මෙය සිදුකිරීමට කටයුතු කරන ලෙසයි. එම ලිපිය මගින්ද වඩාත් තහවුරු වන්නේ ICTA ආයතනයට මෙම වගකීමෙන් අත පිසදා ගත නොහැකි බවයි. 2021 මාර්තු මස දෙවැනිදා නැවතත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා චක්‍රලේඛයක් මගින් දන්වා තිබෙන්නේ මීට පෙර රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඩිජිටල්කරණය සම්බන්ධව ලබාදුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව නොපෙනෙන බවයි. එබැවින් මේ පිළිබද ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන ලෙසද එම චක්‍රලේඛය හරහා ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ. ඒ අනුව වඩාත් තහවුරු වන්නේ ICTA ආයතනයට මේ සම්බන්ධයෙන් තිබූ වගකීම සුලුපටු එකක් නොවන බවයි. 2020 වසරේදි මෙරට සියලු රාජ්‍ය ආයතන ඔන්ලයින් ක්‍රමවේදයකට යා යුතු බව ගැසට් කළත් ICTA අදාළ උපදේශන ලබාදෙද්දී ගුණංග පිළිබඳ නිරීක්ෂණයකට ගියේ නැද්ද? එසේනම් මෙවන් පසුබිමෙක අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල දත්ත අනතුරක නොවේද? රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත ජාතික ආපදා ප්‍රතිපූර්ණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අද (13) පළ කළේ මෙවැනි අදසහක්. ඔව් 2021 පෙබරවාරි 18 යම්කිසි ඩිස්කෂන් එකක් වෙලා තියෙනවා. එන්එම්ආර්ඒ එකයි අයිසීටීඒ එකයි අතර තවත් පාර්ශවයක් තවත් කීපදෙනෙක් එකට එකතුවෙලා බෝඩ් ඩිස්කෂන් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියනා පරදි මෙම දත්ත මගඩිය පිටුපස ඖෂධ මාෆියාව සිටී නම් එහි මහ මොළකරු කවුද?