by Staff writer 12-09-2021 | 10:17 PM
COLOMBO (News 1st) - හෙළි නොකළ අදායම් සහ වත්කම් පිළිබඳ ස්වේච්ඡාවෙන් හෙළි කරන පුද්ගලයින්ට බදු සමාවක් පැනවීමට සම්මත කළ නව මුදල් පනත ක්‍රියාත්මක කිරීමේදී දැඩි අධීක්ෂණයකට භාජනය කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.
ඔවුන් සඳහන් කරන්නේ, මෙම බදු සමා පටිපාටිය මුදල් විශුද්ධිකරණ අරමුණු සඳහා අවභාවිතා කිරීමේ හැකියාවක් පවතින බැවින් අදාළ නියාමන අධිකාරීන් එවැනි උත්සාහයන් වැළැක්වීමට නිසි අතිරේක පියවරයන් ගත යුතු බවය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළක්වීමට නිසි පියවර ගැනීම ඉන් පළමුවැන්නයි.
මුදල් විශුද්ධිකරණ පිළිබඳ විමර්ශනය කිරීම සහ නඩු පැවරීමට අදාළ සියලුම දේශීය බලයලත් ආයතනයන් සම්බන්ධීකරණයට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වන අයුරින් දේශීය වශයෙන් සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය ඔවුන් පෙන්වා දෙන දෙවැනි පියවරයි.
කළු සල්ලි මෙරටට ගෙන එන බවට සැක පුද්ගලයින් පිළිබඳව විමසිලිමත් වන අතරම මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ ඵලදායීව ක්‍රියාත්මක නොකරන රටවලින් පැමිණෙන ආදායම් සහ වත්කම් හොඳින් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගීතාවය ශක්තිමත් කිරීම තුන්වන පියවරයි.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කර රටට හානිදායක විය හැකි පිරිස් මෙම බදු සමාව අවභාවිත නොකරන බවට වගබලා ගන්නා මෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නීති ක්‍රියාත්මක කරන සියලු නියාමන අධිකාරීන්ගෙන් ඉල්ලා සිටී.