ජනතා විමුක්ති පෙරමුණු නායකයාගෙන් අනාවරණයක්

by Staff Writer . 12-09-2021 | 11:19 PM

COLOMBO (NEWS1ST) : රටේ සම්පත් විදේශයන්ට විකිණීමේ සැලසුම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අද අනාවරණයක් කළේ ය.

නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, කෙරවලපිටිය බලාගාරයේ 40% ක් , ඒ වාගේම ඒවාට ගෑස් ගෙන එන නළ පද්ධති සහ ගෑස් ගබඩා කරන ටර්මිනල් පද්ධති මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකිණීමට සම්මත කර ගෙන ඇති බවයි.
''කැබිනට් මණ්ඩලය කැඳවන්නේ දැන් සූම් තාක්ෂණය හරහා, මුදල් අමාත්‍යාංශයේ භාර ඇමති දැන් බැසිල් රාජපක්ෂ වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා නමුත් අවසානයේදී සම්මතකොට ගෙන තිබෙනවා අපේ රටේ කෙරවලපිටිය බලාගාරයේ සියයට 40 ක් , ඒ වාගේම ඒවාට ගෑස් ගෙන එන නල පද්ධති සහ ගෑස් ගබඩා කරන ටර්මිනල් පද්ධති මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකුණන්න.ඒ විකරක් නෙවෙයි ඒ විකිණීමේ කොන්දේසි විකිණීමේ මිල ගණන්, එළඹෙන ගිවිසුම ඒ සියල්ල පිළබඳ අධීකාරි බලයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දී තිබෙනවා.මා දන්නවා සමහර ඇමතිවරු, ඒ පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න නොදී අවසානයේදී කාර්ය සටහන්වල තමයි එම කැබිනට් මණ්ඩලයේ එම පත්‍රිකාව සම්මත කරයි කියලා සටහන් කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ ඉන්න මන්ත්‍රිවරුන්ගෙන් අපි අහනවා මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඔබ දුටුවාද? නැහැ. පත්‍රිකාවක් වත් නැතුව ලංකාවේ පළවෙනි වතාවට මුදල් අමාත්‍යවරයා දෙන වාචික කරුණු වලට අණුව තීන්දු ගනු ලබනවා''
වරායේ ඉඩම් අක්කර 13 ට මොකද වෙන්නේ?
''වර්තමාන වරාය අධිකාරිය විශාල ආදායමක් උපයන්නේ මෙම සේවා සැපයුම ලබා දීම හරහා. 2017 වසරේ බිලියන 5.6 ක් වරාය අධිකාරිය ආදායමක් උපයලා තියෙනවා මෙම සේවා සැපයුම හරහා. හැබැයි දැන් මොකද්ද කරන්නේ ඒ සේවා සැපයුම මුළුමනින්ම තියෙන්නේ සී. අයි. සී. ටී සමාගමට අවුරුදු 35කට පැවරීම සඳහා මේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගනු ලබනවා. එතැනදි අක්කරයක් බදු දෙනු ලබන්නේ මාසෙකට ලක්ෂ 8 හමාරක් වැනි මුදලකට. මීට පෙර විවිධ සමාගම් වෙත ලබා දීලා තිබෙන මෙම ඉඩම්, එකක් තියෙනවා අක්කර එකයි පර්චස් හැටක් ඒක ලබාදීලා තිබෙන සිමෙන්ති සමාගමකට ඒකෙ මාසික කුලිය ලක්ෂ විසි දෙකයි. හැබැයි මෙතන අක්කරයක් ලබා දෙනු ලබන්නේ රුපියල් ලක්ෂ අටහමාරක් වැනි මාසික මුදලකට. නිසි තක්සේරුවකින් ගණනය නොකොට ඒවා හරහා විශාල ධනයක් මේ අය උපයා ගන්නවා ඒ උපයා ගන්නා ලද ධනය සුදු කර ගැනීම සඳහා විවිධ කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පහුගිය දා පාර්ලිමේන්තුවේ අනුමත කරලා දුන්නා''
මහබැංකු අධිපතිවරයා ඉවත්වීම හා අලුත් පත්වීම.
''අපි දැක්කා මහ බැංකුවේ අධිපතිවරයා ඉවත්වීමේ දී ඔහු විශාල අඳෝනාවක් කරුණු ගණනාවක් කියනවා හැබැයි මම හිතනවා ඔහු කියපු කරුණු වලට වඩා වැඩි ඔහු නොකියපු කරුණු. හැබැයි මම හිතනවා ඔහු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. එනිසා මම හිතනවා ඔහු සියල්ල සවිස්තරාත්මකව ඉදිරිපත් කරාවි කියලා''