අගමැති ජී 20 අන්තර් ආගමික සංසදයේ සැසිය අමතයි

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ප්‍රබලතම අභියෝගයයි - අගමැති

by Sagarika Chathumali 12-09-2021 | 10:31 PM

COLOMBO (NEWS1ST) :  අන්තවාදී මතවාද හා ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ඇති ප්‍රබලතම අභියෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉතාලියේ බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිය අමතමිනි. සිය දේශනයේදී අග්‍රාමාත්‍යවරයා 20 වසරකට පෙර සිදුවු සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම ද සිහිපත් කළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසූවේ, වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් එම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවයි. ආර්ථික , දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අනාගතය රඳා පවතින්නේ, එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජිවනය මත බව ද අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී අවධාරණය කළේ ය. තව ද කොවිඩ් අර්බුදය ආගම්, ජාතීන් හා ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාටම මාරාන්තික පහරක් එල්ල කර ඇති බව ත් වසංතයෙන් බේරී නැවත ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බව ත් සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේ, කොවිඩ් 19 රෝගයට එරෙහිව නූතන වෛද්‍ය විද්‍යාව මගින් ලබාගත හැකි එන්නත් හා අනෙකුත් ආරක්ෂාව ලොව පුරා තිබිය යුතු අතර ජාත්‍යන්තර සංවිධාන හා ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවලින් ආධාර ලබා ගැනීමට ධනවත් නොවන රටවල් සදහා විශේෂ විධිවිධාන යෙදවිය යුතු බවයි. සංහිඳියාව කාලයේ තීරණාත්මක අවශ්‍යතාවක් බවත් ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබෙන බව ත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සාමය සහ ස්ථාවරත්වය ඇති වන්නේ, අප සමග දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත්වන සියලු දෙනා සමග පවත්නා යහපත් සබඳතාවලින් බව එහිදී අවධාරණය කළේ ය. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අතීතයෙන් හිමිවූ දුක්ගැනවිලි මත වාසය කරනාවට වඩා අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමග එකඟතාවක අවශ්‍යතාව සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගත හොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම වෙත ළඟා විය හැකි බවයි. අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී පැහැදිලි කළේ, සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය තේමා කර ගනිමින් ඵෙතිහාසික බොලොඤ්ඤා නගරයේ මෙය සංවිධානය කිරීම කාලෝචිත බවයි. සංසදයේ ආරම්භක සැසිය ඇමතීම සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සිය කෘතවේදිත්වය පළ කළේ ය.