COLOMBO (News 1st) - මෙරටට ආනයනය කිරීමෙන් පසුව විවිධ හේතු මත ආනයනකරුවන් විසින් වරායෙන් මුදා නොගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අලෙවිසැල් ජාලය හරහා ජනතාවට සහන මිලට ලබා දීමට කැබිනට් තීරණයක් ගැණුනේ මීට සති කිහිපයකට පෙරයි.
එම තීරණය අනුව වරින්වර විවිධ ආහාර ද්‍රව්‍ය සතොසට නිකුත් කළ අතර එලෙස නිකුත් කළ සුදු ළූණු බහලුම් 02ක් පිට පාරෙන් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අඩු මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
පාරිභෝගික අධිකාරිය පැවසුවේ, සුදු ළූණු කිලෝග්‍රෑම් 56,000ක් මෙලෙස අලෙවි කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත සීදූව සතොස ගබඩාව පාරිභෝගික අධිකාරිය පරීක්ෂා කර ඇත.
එහිදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ ඉකුත් 9 වැනි දා රාත්‍රී 10.30 ට පමණයි.
පාරිභෝගික අධිකාරිය පැවසුවේ, සුදු ළූණු තොගය රුපියල් ලක්ෂ 74 කට බිල්පත් නිකුත් නොකර ලිපියකින් පමණක් සතොස ගබඩාවෙන් නිකුත් කර තිබූ බවය.
පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, තුෂාන් ගුණවර්ධන මහතා,
අපි කියන්නේ මේ වෙලාවේ මේක ගැන ජනාධිපතිතුමාට හොයලා බලන්න කියලා. සතොසෙන් මෙහෙම වෙනවනම් අපි මේ පොඩි වෙළෙඳසැල් අල්ල අල්ල ඉඳලා වැඩක් නැහැ. විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. සී.අයී. ඩී ඒක ලවා. මොකද සතොසෙන්නම් මෙහෙම පරීක්ෂණයක් වෙයි කියලා හිතන්න අමාරුයි. දැන් අපේ ගාව තියන තොරතුරු අනුව මේ වැඩේ කරන්න ඉහළ කළමනාකාරීත්වයත් හවුල් වෙලා තියනවා. නැත්නම් කොහොමද සාමාන්‍ය පොඩි වෙළෙඳසැලක මනුස්සයෙක් කිලෝ 56,000 ක් විකුණනන්නේ. ඒකට ඉන්ට්‍රක්ෂන් හම්බුවෙලා තියනවා ප්‍රධාන කාර්යාලයෙන්. ඒ ලියකියවිලි අපි ගාව තියනවා.
මේ අතර වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තමන් ද මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
ඊට වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝග කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.
සතොස ඉහළ කළමනාකාරීත්වයේ කිසිදු අනුමැතියකින් තොරව මෙම සිද්ධිය වී ඇති බව පෙන්වා දෙන වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන් බවය.
පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, තුෂාන් ගුණවර්ධන මහතා,
වෙළෙඳ අමාත්‍යාංශය කිව්වට අනුදැනුමක් නැතුව කරලා කියලා ඉහළ කළමනාකාරීත්වයේ, එහෙනම් ඉහළ කළමනාකාරීත්වයේ ඉන්න එකේ තේරුම මොකක්ද? සභාපති කෙනෙක් ඉන්නවා. සී.ඊ.ඕ. ඉන්නවා සෙක්‍රට්‍රිලා ඉන්නවා මේවා බලන. මේ සුදුළූණු කිලෝ 1 ක් 2 ක් නෙවයි 56,000ක්.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා,
මේ වන විටත් සතොස ආයතනයේ 15 ක් වැඩ තහනමකට ලක්වෙලා තියෙනවා. මේ සිද්ධියටත් යම් ආකාරයෙකින් එවැනි නිලධාරියෙක් සම්බන්ධ වෙලා තියනවනම් තරා තිරමක් නොබලා අනිවාර්යෙන් ඉහළම දඬුවම ලබා දෙන්න කටයුතු කරනවා.