COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් මහතාගේ ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩුව භාරගැනීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (11) ප්‍රකාශ කළේ ය.
නිව්ස් ෆස්ට් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා තමන් ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ඔහු කියා සිටියේ ලබන සතිය මැද තමන් ධුරය භාරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.
වත්මන් මහබැංකු අධිපතිවරයා 14 වනදා සිට ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ඊයේ නිවේදනය කළේ ය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමේ සූදානම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමගි ජන බලවේග මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකු අධිපති විය නොහැකි බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිට ඊළඟ දිනයේ මහ බැංකුවේ වාඩි වී ස්වාධීනව කටයුතු සිදු කළ හැකි ද යන්නයි.
යම් හෙයකින් ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ නම්, විශාල ගැටලු රාශියක් පැන නගින බව ත් එය කිසිසේත්ම විශ්වාසය ගොඩනැගෙන ක්‍රියාවලියක් නොවන බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
''ඔව් ඉතිං උදේ වරුවේ පාර්ලිමේන්තුයේ හවස මහා බැංකුවේ බෑ නේ.මෙතන මේ නීතිය ලියාපු පුද්ගලයෝ මොකක් ද හිතන්නෙ, මෙතන ඉඳලා එක පාරට පාර්ලිමේන්තුවේ ඉඳලා .ඊළඟ දවසේ මහ බැංකුවේ වාඩි වෙලා ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ද? බෑ නේ... බැරිවෙලාවත් එතුමාව මෙතනට පත් කරනවා නම්, විශාල ගැටලු රාශියක් මතු වෙනවා. එක කිසිසේත්ම විශ්වාසය ගොඩනැගෙන ක්‍රියාවලියක් වෙන්නේ නෑ''
මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මහ බැංකු අධිපතිවීමේ සූදානම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''අජිත් නිවාඩ් කබ්රාල් මහතාටත් අභියෝගාත්මක කාලයක් , අපි විස්වාස කරනවා 2008 / 2009 කාලයේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයන්වලදිත් යුද්ධය තියෙන කාලවලදිත් මහ බැංකු අධිපති විදිහට එතුමාගේ දායකත්වය ලබා දුන්නා. ඒ අත්දැකීම් භාවිත කරලා නැවතත් ශක්තිමත් දැයකත්වයක් ලබා දෙයි කියලා අපි විස්වාස කරනවා''
අජිත් නිවාඩ් කබරාල් මහතා ඉවත්වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන ලැබෙන්නේ කාහට දැයි එහිදී මාධ්‍යවේදීහු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ.
ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය මන්ත්‍රී ධුරය කැප කළ ජයන්ත කැටගොඩ මහතාට එම මන්ත්‍රී ධරය ලබා දීමේ යම් කතාබහක් පවතින බවයි.
''යම් කතාබහක් තියෙනවා ජයන්ත කැටගොඩ මන්ත්‍රිතුමා. එතුමා තමයි බැසිල් රාජපක්ෂ ඇමැති තුමාට තමන්ගේ මන්ත්‍රි අසුන පරිත්‍යාග කරේ.ඉතින් ඒ නිසා මන් හිතනවා පක්ෂය තින්දු කරයි එතුමා කරපු කාර්යභාරය සලකලා එතුමාට මේක ලබාදීම සුදුසුයි කියලා''