භාණ්ඩ 623කට ආනයන සීමා කිරීම් පැනවීමට පියවර ගත්තේ මාස 03ක කාලයක් සිදු කළ අධ්‍යයනකින් පසුවයි...- මහ බැංකුවේ අධිපති

by Staff writer 10-09-2021 | 10:10 PM

COLOMBO (News 1st) - භාණ්ඩ 623 ක් සඳහා ආනයන සීමා කිරීම් පැනවීමට පියවර ගත්තේ මාස 03ක පමණ කාලයක් සිදු කළ අධ්‍යනයකින් පසුව යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීම සඳහා 100%ක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බව මහ බැංකුව ඊයේ(09) නිවේදනය කළේ ය. මේ අනුව ජංගම දුරකතන, නිමි ඇඳුම්, පාවහන්, අත්ඔරලෝසු, රබර් ටයර්, වායුසමීකරණ යන්ත්‍ර ඇතුළු උපකරණ 623 ක් ආනයනය කිරීම අධෛර්යමත් කෙරේ. මහ බැංකු අධිපති, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් මහතා,
අත්‍යවශ්‍ය භාණ්ඩ හා අතරමැදි නිෂ්පාදන කෙරෙහි බලපෑම් කළ හැකි බැවින් ආනයන සීමා කිරීම ප්‍රවේසමෙන් කළ යුතුයි. මාස තුනකට ආසන්න කාලයක් ප්‍රවේසමෙන් අධ්‍යන කිරීමෙන් හා සාකච්ඡා කිරීමෙන් පසුව මෙම පාලනය පැනෙව්වා. මෙහි අරමුණ වෙළෙඳ හිඟයේ පරතරය අඩු කර ගැනීමයි. මම හිතන්නේ නැහැ කිසිදු නිෂ්පාදකයෙක් මැසිවිලි නගන්න පටන් අරන් තියනවා කියලා. මෙම ක්‍රමවේදය මහ බැංකුව අතීතයේදී ආනයන පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගයක්. මේ ගත් පියවර අවම හානියක් ඇති කරන්නේ ආනයන අයිතම එකවරක් නතර කිරීමක් සිදු නොකරන නිසා.