නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 දක්වා දීර්ඝ කෙරේ..

පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් 21වැනිදා දක්වා දීර්ඝ කෙරේ..

by Staff writer 10-09-2021 | 11:27 AM

COLOMBO (News 1st) – දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය. කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම අද පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට වැඩි වයස් ඛාණ්ඩයට අයත්වන අතර ඉන් වැඩි දෙනෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබානොගත් අය බව සෞඛ්‍ය බලධාරීන් අද රැස්වීමේදී පෙන්වාදී තිබේ. එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ එන්නත ලබා ගැනීමට පසුගාමීවන පිරිස එන්නත ලබා ගැනීම සදහා දිරිමත් කළ යුතු බවය. ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවමින් අවුරුදු 60ට වැඩි සහ විවිධ රෝගාබාධවලට ලක්ව ඇති පිරිසට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. 2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 07 කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමා විය අධ්‍යාපනයත් අහිමිවීමෙන් සිදුව ඇති බලපෑමද අද සාකච්ඡාවකට ලක්ව තිබූ තවත් කරුණකි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සිසුන් 100 ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවත අතර ඒවා විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව කඩිනම් නිර්දේශයක් ලබාදීම සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවකට පැවරූ බවය. අස්වනු දෛනිකව වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකිවීමෙන් එළවළු ගොවීන් දැඩි අපහසුතාවට පත්වීම හේතුවෙන් සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට අද රැස්වීමේදී තීරණය කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.