T20 ලෝක කුසලානයට පෙර ලංකාවට ඕමානය සමග තරගාවලියක්

20යි 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ඕමානය සමග තරගාවලියක්..

by Chathuranga Rajapaksha 09-09-2021 | 2:26 PM
COLOMBO (News 1st): 2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්ව යන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී(UAE) පැවැත්වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ඔක්තෝම්බර් 07 වැනිදා පළමු විස්සයි-20 තරගයටත් ඔක්තෝම්බර් 09 වැනිදා දෙවැනි විස්සයි-20 තරගයටත් සහභාගිවනු ඇති. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ඊට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලබා දෙනු ලබන පුහුණු තරග දෙකකට ද ඔක්තෝම්බර් 12 සහ 14 යන දෙදින ක්‍රීඩා කිරීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අපගේ කණ්ඩායමට හැකි තරම් තරග ලබා දෙමින් සමාන තත්ත්වයන් යටතේ අත්දැකීම් ලබා දීම ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පවසයි. නැමීබියාවට එරෙහිව ඔක්තෝම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන සටන අරඹන අතර 20 වැනිදා අයර්ලතයට එරෙහිව තරග වදිනු ඇති එම තරග දෙකම අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවැනි තරගය ඔක්තෝම්බර් 22 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ අනුව, තරග කාලසටහන මෙසේය.