ක්‍රිකට්වලට නිහඬ සේවයක් කළ චානක අභාවප්‍රාප්ත වෙයි

ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ චානක සිල්වා අභාවප්‍රාප්ත වෙයි..

by Staff Writer . 09-09-2021 | 10:36 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ සහායකයෙකු ලෙස කටයුතු කළ චානක සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ සමාරම්භක මාධ්‍ය සහායකවරයා වන චානක සිල්වා මහතා වසර 18කට අධික කාලයක් එම ධූරයේ කටයුතු කර තිබේ. මාධ්‍යවේදීන් සමග ඉතා සුහද ලෙස කටයුතු කළ ඔහු දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ, මෙන්ම ක්‍රීඩකයින්ගේ ද පැසසුමට ලක්ව සිටි අයෙකි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මෙරට තුළ සංවිධානය කළ තරගාවලි රැසකදී චානක සිල්වා මහතා මාධ්‍ය සහායකයෙකු ලෙස සිය මැනවින් රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක්ව තිබේ. මීට වසර දෙකකට පෙර මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස ස්ථාන මාරුවක් ලබා දෙන තෙක්ම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ රාජකාරි කළේය. 2019 වසරේදී පකිස්ථාන සංචාරය සඳහා ඇතැම් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කළ පසුබිමක ඔහු එම සංචාරයට ද එක් වූයේ රාජකාරිය දේවකාරිය ලෙස සලකමිනි. කළුතර, නාගොඩ ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු චානක සිල්වා මහතා කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටියේය. 40 හැවිරිදි වියේ පසුවන චානක සිල්වා මහතා දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර පියෙකි.

දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගෙන් පැසසුම් ලබමින්, ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ, චානක සිල්වා සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!