පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් පරීක්ෂාවක..

පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් පරීක්ෂා කරද්දී උණුසුම් තත්ත්වයක්..

by Staff writer 08-09-2021 | 11:01 PM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් පරීක්ෂා කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානයක යන මහත්වරුන් සමග පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ද සහල් මොල් පරීක්ෂාවට එක්ව සිටියහ. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් සහල් මෝල පරීක්ෂා කිරීමට නිලධාරීන් පැමිණි අවස්ථාවේ මහා සංඝරත්නය සහ ගොවීන් ඇතුළු පිරිසක් ඒ ආසන්නයට රැස්ව සිටියහ. එහිදී යම්කිසි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය සමතයකට පත් කර පිරිස විසුරුවා හැරියේය. මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිස පොළොන්නරුවේ තවත් මහාපරිමාණ සහල් මෝල් 02ක් පරීක්ෂා කර තිබේ. මෙම පරීක්ෂාවේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 05 ට අධික තොගයක් සහතික මිලට මිලදී ගෙන ඇත. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිස සහතික මිලට මිලදී ගත් සහල් තොග දිවයින පුරා පිහිටි සතොස ශාඛා හරහා අලෙවි කිරීමට රැගෙන ගොස් තිබේ. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක සීනි ගබඩා වැටලිමට අදත් පාරිභෝගික සේවා අධිකාරිය හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පියවර ගත්තේ ය. පෑලියගොඩ ප්‍රදේශයේ මුද්‍රා තැබූ සීනි ගබඩාවේ තිබූ සීනි තොගය මෙට්‍රික්ටොන් 18,500 කට ආසන්නයි. පෑලියගොඩ ප්‍රදේශයේ තවත් සීනි ගබඩාවක් පරීක්ෂා කළ නිලධාරීන් ඊට මුද්‍රා තබන අවස්ථාවේ රැසකර තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1300 කි. සීනි මෙට්‍රික්ටොන් 1800 ක් ගබඩා කර තිබු වත්තල-මාබෝල ප්‍රදේශයේ තවත් සීනි ගබඩාවක් අද නිලධාරීන් පරීක්ෂා කළේ ය. මෙම සීනි තොග සතොස හරහා පාරිභෝගික ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අතර වත්තල, එඬේරමුල්ල ප්රදේශයේ මුද්‍රා තැබු ගබඩාවක සීනි මෙට්‍රික්ටොන් 320 ක් අස්ථානගත වී ඇති බව අද අනාවරණය විය. පසුගිය තුන් වෙනි දින පාරිභෝගික අධිකාරිය විසින් මෙම ගබඩාවේ ගබඩා කර තිබූ සීනි මෙට්‍රික්ටොන් 4100 ක් සිය භාරයට ගත්තේ ය. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සමග අද යළිත් එම ස්ථානය පරීක්ෂා කළේ ය. සිදු කළ විමර්ශනවලින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ගබඩාවේ භාරකරුවන් දෙදෙනෙක් සහ ලොරි රියැදුරෙක් කඩවත පොලීසියට භාරදීමට පියවර ගත්තේ ය. එම ගබඩාව නැවතත් මුද්‍රා තබා ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.