COLOMBO (News 1st) - පසුගිය කාලයේ සිදු කළ විමර්ශනවලින් පසුව අධිකරණයේ නඩු පවරා ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි, ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවි අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම්ව අධිකරණයට වාර්තා කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.
නීති විරෝධී ආකාරයෙන් රඳවා ගෙන සිටි බව කියන හීලෑ අලි ඇතුන් විශාල පිරිසක් පසුගිය රජය සමයේ සොයාගත් අතර වනජීවි දෙපාර්තමේන්තුව පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන ආයතන නඩු කිහිපයක් ද ඊට අදාළව අධිකරණය හමුවේ පවරා තිබුණි.
අධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම හීලෑ අලි ඇතුන් නඩු භාණ්ඩ ලෙස රඳවා තිබුණේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ ඇති පින්නවල හා උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානවලයි.
පසුගිය දා අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය අංක එක ස්ථානාධිපතිවරයා මෙම අලි ඇතුන් අතරින් 13 දෙනෙකු මුදා හරින්නැයි ඉල්ලා තිබේ.
මේ ඉල්ලීම කර ඇත්තේ, නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවි අමාත්‍යවරයා අගෝස්තු 19 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම්වයි.
එම ගැසට් නිවේදනය මගින් හීලෑ අලි , ඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් මාස 03 ක් අතුළත ලියාපදිංචි කිරීමට නියමකර ඇති බවත් එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
ඉදිරිපත් වූ කරුණු අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා නියෝග කර ඇත්තේ, නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි ඇතුන් අතරින් 13 දෙනෙකු ඔවුන් සන්තකයේ තිබූ අයට මුදා හරින ලෙසය.
අධිකරණ නියෝගයට අනුව වසර 06ක පමණ කාලයක සිට උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි තුන්දෙනකු ඊයේ(07) සහ අද(08) මුල් අයිතිකරුවන්ට ලබා දුන්නේ ය.
පින්නවල අලි සංරක්ෂණාගාරයේ 2015 වසරේ සිට රඳවාගෙන සිටි අලි 4 දෙනෙක් ද ඊයේ පස්වරුවේ මුල් අයිතිකරුවන් වෙත භාර දුන් අතර අප වාර්තාකරු පැවසුවේ, රාත්‍රී 11.00 පමණ වන තෙක් එම කටයුතු සිදු වූ බවයි.
අද දිනයේදීත් පින්නවල සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුවන්ට භාර දුන්නේ ය.
පරිසරවේදී, සජීව චාමිකර මහතා,
මේ සතුන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරපු විමර්ශන තිබෙනවා. විගණනයන් පවා සිදු කරලා තිබුණා මේ ක්‍රියාවලිය සිද්ධ වෙච්ච ආකාරය සම්බන්ධයෙන්. මේ කරුණු කිසිම දෙයක් සැලකිල්ලට නොගෙන අතීතයට බලපැවැත්වෙන ආකාරයට සකසපු ගැසට් නිවේදනයක් පාවිච්චි කරලා අතීතයට බලපාන ලෙස අර්ත නිරූපණය කරලා සතුන් නිදහස් කිරීම නීතී විරෝධී තත්ත්වයක්. අපි මේ තත්ත්වය සම්පූර්ණයෙන් හෙලා දකිනවා. මේ සතුන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය නතර කරන්න.
පරිසරවේදී, ආචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධන මහතා,
විය යුතුව තිබුණේ නඩුවේ දෝෂයක් තිබුණා නම් නඩුව අහලා ඉවර කරලා. එහෙම නැත්තන් විරෝධතාවක් ගෙනල්ලා. විරෝධතාවයකින් නඩුව නිෂ්ප්‍රභා වුණා නම් ඊට පස්සේ එන තීන්දුව අනුව කටයුතු කරන එක. මේ ආකාරයෙන් නඩුව ඉවත් කරගෙන කරන දේවල් අපි දකිනවා අධිකරණ ක්‍රියාමර්ගයට අයුතු බලපෑමක් නැත්තන් අධිකරණ ක්‍රියා මර්ගයට යන පාරේ යන්න නොදි මගදි ඒක අත්හිටුවන විදියේ කටයුත්තක් කියන එක.
පරිසරවේදී, නයනක රන්වැල්ල මහතා,
මේ හැම අත්අඩංගුවට පත් හැම චුදිතයෙක්ම විස්වාස නරන්නේ ලේ වැකුණු අලි පැටවුන්ගේ ලේ හෝ ඒ මව් ඇතින්නගේ ලේ දැත්වල ගා ගත්ත උදවිය කියලා. ඒ අතර දේශපාලඥයෝ ඉන්නවා පක්ෂ ගණනාවක. අපි පුදුමට පත් වෙනවා. මෙවැනි නඩු භාණ්ඩයක් ඒ චුදිතයන්ටම ලබාදීමට නීතිපතිවරයා කටයුතු කිරිමට යෝජනා කිරීම පිළිබඳව.