අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල ගැන දැනුම් දීමක්.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දිය හැකි බව ජනාධිපති ලේකම් දැනුම් දෙයි..

by Staff Writer . 07-09-2021 | 9:34 AM

COLOMBO (News 1st): දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමට, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලතල පවතින බව, ජනාධිපති ලේකම්වරයා පවසයි.

ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ 05වැනි වගන්තිය ප්‍රකාරවයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට බලයක් නැතැයි විපක්ෂය ඊයේ (06)පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේ ය. එම නිවේදනයේ දැක්වෙන්නේ, විපක්ෂය කළ අදාළ ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු බවය. නීත්‍යානුකූල නොවන ලෙස රැස් කරගෙන ඇති වී, සහල්, සීනී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දීමට කටයුතු කරන්නැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පෙරේදා,(05) දිසාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියෝග කළේ ය.