හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff Writer . 06-09-2021 | 4:51 PM
COLOMBO (NEWS1ST) : අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සහ සැඟවීම වැළැක්වීම පිණිස හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද - 132 යෝජනාවට විපක්ෂව ඡන්ද - 51 මේ සමග මහජන ආරක්ෂක ආඥා පනතෙන් ජනාධිපතිවරයා වෙත පැවරෙන බලතලවලට අනුව මහ ජන සාමය පවත්වාගන යාම පිණිස සන්නද්ධ හමුදාවල සියලු සාමජිකයින් සේවයට කැඳවීමේ නියෝගය පිළිබඳව ද කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.   අද (06) පාර්ලිමේන්තුවේදී ඇමතිවරු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පළ කළ අදහස් පහතින්.... වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන :
''අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයෙක්ව පත් කළා, සරත් ෆොන්සේකා මහත්තයා මෙතන ඉන්නවා, ඔබට මතක ඇති එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මාවිල්ලාරු සොරොව්ව වැව්වා. මාවිල්ලාරු සොරොව්ව අරින්න කියලා කාටද එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝගය දුන්නේ. නියෝගය දුන්නේ ඔබතුමාට. ඇයි එදා එතුමා මාවිල්ලාරු සොරොව්ව අරින්න ඔබතුමාට බාර දෙන්නේ නැතුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බාර දුන්න නම් කොහොම තියෙයි ද. එහෙම නම් රටේ ආපදා තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට ඒ වගකීම භාර දෙන්න ඕන ඒක දන්නවා අයට''
සමගි ජන බලවේග මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න : -
''අත්‍යවශ්‍ය සේවා හා සැපයීම පවත්වාගෙන යාම , හා හදිසි නීති අතර මොකද්ද තියෙන සම්බන්ධය, හරියට අර හොදයි බෝල්ට් ඇණයි වගේ, මේ හදිසි නීති රෙගුලාසි හරහා ජනාධිපතිට බලය තියෙනවා. ජනතාවගේ සිවිල් නිදහස අහෝසි කරන්න, එහෙම නම් කරන්න තිබුණේ, හදිසි නීතිය පැනවීම නෙවෙයි, රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නයි. මෙම ඖෂධවල ඉඳලා antigen දක්වාම කතාවල් අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකලා තියෙනවා. ගොඩ වෙදා තියරියට තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. ලෙඩේ මොකක් වුණත් එකම බෙහෙත දෙන්නේ. කොයි ප්‍රශ්නය ආවත් ජනාධිපති කාර්ය සාධක කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. විශේෂඥයින් පැත්තකට දාලා අහසින් හයර් කරන කාර්ය සාධක බලකායකින් වැඩක් නැහැ'' ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර : - ''අපි ආණ්ඩුවක් හැටියට, නඩු කිය කිය ඉන්න පුළුවන්, අන්තිමට මිනිස්සුන්ට සීනි කන්න වෙන්නේ දෙසිය ගණන්වලට. එහෙම තත්ත්වයක් තුළ හදිසි නීතිය පූර්ව බලති හදිසි නීතියක් ලෙස ගේන්න ඕන. පාර්ලිමේන්තුවට යටත් ඒක. එතකොට කියනවා ඕගොල්ලන්ගේ යාළුවනේ මේගොල්ලෝ කියලා, යාලුවෝ වුණත් වුණත් අන්තිමට රටට කරන්නේ විපතක් නම් එදාට කඩුව උත්සන්න පුළුවන් හයිය තියෙන ගෝඨාභය වගේ පාලකයෙක් ඉන්න එක හොඳ නැද්ද. මගේ පියා මට කිව්වා එක වචනයක් දෙවියන්ට පොඩි වැරදීමක් වුනා වෙළෙන්ඳෙකුත් හොරෙකු ත් දෙන්නෙක් මැවුවා. මගේ පියත් වෙළෙන්ඳෙක් ඒ නිසා එතුමා ඒක ගැන හොඳටම දන්නවා''
සමගි ජන බලවේග මන්ත්‍රී එස්. එම්. මරික්කාර් : -
''මේකේ අල්ලන්න දෙයක් නෑ. සල්ලි දීලා මිලදී ගන්නේ. මේ අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල් පොලිස්පතිට දිසාපතිවරුන්ට යවනවා ලිපියක් පළවෙනිදා. ඒකේ තියනවා තොග මිලදී ගෙන වී සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග මිලදී ගෙන දැන් මං මේ ලියුමත් සභාගත කරනවා. මුලාසනයේ මන්ත්‍රීතුමනි, මේකේ කරුණු දෙකක් තියනවා. මේ බැරැක්කකරණය, මිලිටරිකරණය ඔප්පු වෙන ලියුමක් මේක. මොකද හේතුව තමාට වඩා ඉහළ ඉන්න නිලධාරීන්ට නියෝග දෙන තත්ත්වයට මේ අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා මේජර් ජනරාල්වරයා පත් වෙලා තියනවා. මේ සල්ලි දීලා කොහොමද රාජසන්තක කරන්නේ. මේ හදිසි නීතිය හරහා වෙන්නේ මොක්කද ලෝකය තුළ අපේ රට පිළිබඳ වැරදි චිත්‍රයක් මැවිලා තියනවා. අද ආණ්ඩුව අනාගෙන නාගෙන ඉන්නේ, සමාජය තුළින් විශාල විරෝධයක් මතු වෙලා තියෙනවා, සමාජ මාධ්‍ය මේ ආණ්ඩුවට විරුද්ධව විශාල රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා.අනාගතයේදී උද්ඝෝෂණ රැල්ලක් ඒමට නියමිතය‍ෙ. ඒ නිසා සමාජ මාධ්‍ය පාලනය කරන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඬුකඳේ ගහන්න, වැඩ වර්ජන සීමා කරල, ප්‍රජාතන්ත්‍රවාදය දඬයම් කිරීම සඳහා තමයි, මේ හදිසි නීතිය ගේන්නේ''
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ : -
''මම සාමාන්‍යයෙන් හදිසි නීති පනවනවට විරුද්ධයි. නමුත් මේ අවස්ථාවේදී මම කියනවා මේ හදිසි නීතිය අවශ්‍ය වෙනවමයි මතුවෙලා තියෙන තත්ත්වය හේතුකොටගෙන''
සමගි ජන බලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් : -
''ආණ්ඩුව කරන්නේ නැහැ. කියන ඒවා තමයි කරගෙන එන්නේ. මේ කරන්නේ හොරා පොලිස්. මොකටද හදිසි නීතිය. මේ රටේ තමන්ගේ පාලනය දවස ගානේ ගිලිහීගෙන යනවා. ආණ්ඩු විරෝධය වැඩි වෙනවා. සමාජ මාධ්‍යවල ආණ්වට විරෝධය එල්ල කරන ප්‍රචාරයන් වැඩි වෙනවා. දොස්තරවරු ආණ්ඩුවෙ හොරකම් ඇවිල්ලා එළියට ඇවිල්ලා කියනවා. අන්න මේ ටික ඉවසගන්න බැහැ ආණ්ඩුවට. ඒක හින්දා ආණ්ඩුවට ඕන මේ ටික මර්දනය කරන්න. සල්ලි අච්චුගහන එක විතරයි හරියට කරලා තියෙන්නේ. අනිත් හැම එකම කඩා වැටිලා තියෙන්නේ. අද මේ ආණ්ඩුවේ ජනප්‍රියභාවය අඩුවී ගෙන යනවා''
සමගි ජන බලවේගය මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි: -
''මේකට තමයි 69 ලක්ෂයට ජන්දේ දෙන්න කිව්වේ. මේකට තමයි තුනෙන් දෙක ඉල්ලුවේ. මේකට තමයි 20 ඉල්ලුවේ ඇයි. දන්නවා වැඩ බැහැ. වැඩ බැරි වුණාම මොකක්ද කරන්න ඕනේ. තුවක්කුව බෙල්ලට තියලා තමයි වැඩ කරන්න වෙන්නේ. තුවක්කුව බෙල්ලට තියලා තමයි බේරිලා ඉන්න පුළුවන් ආණ්ඩුවට. ඒනිසා ඒකයි හදිසි නීතිය දැම්මේ මේකේ තියෙන්නේ මර්දනය''
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර : -
''ආහාර වර්ග සියල්ලම දැන් දේශීයව නිෂ්පාදනය කරන්නේ දැන් ඒක නිසා සමහර ඒවා නිෂ්පාදනය මදි නිසා පිටරටින් ගෙන්න ඕන. අන්න ඒ නිසා ඒවා ආනයනය කරන්න පුද්ගලික වෙළඳ ව්‍යාපාරිකයින්ට භාර දුන්නා. අන්න ඒ අය තමයි කල දුටු කල වළ ඉහගන්නවා වගේ ඉතාම කුහක ලෙස ඉතාම දුර්වල ලෙස ක්‍රියාකරපු නිසා තමයි අද මේ වගේ හදිසි නීතියක් පනවන්න අවස්ථාව උදාවෙලා තියෙන්නේ, අපේ විපක්ෂය කරන්නේ රජය සමග එකතු වෙලා වෛරසය විනාශ කරනවා නෙමෙයි, වෛරසය සමග එකතු වෙලා රජය විනාශ කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේක තමයි තියෙන අවාසනාවන්ත තත්ත්වය''
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් කරනු ලැබිණ. අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පවතින බව සඳහන් කරමිනුයි. ඒ අනුව මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම, සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාම සඳහා අදාළ පියවර ගන්නා බව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කෙරිණ.