"රාජ්‍ය අංශයට සේලයින් ආනයනය නතර කරනවා"

පිටරට වතුර තමයි අපේ රටට ගෙනල්ලා තියෙන්නේ රාජ්‍ය අංශයට සේලයින් ආනයනය මුළුමනින්ම නතර කරනවා - මහාචාර්ය චන්න ජයසුමන

by Staff writer 06-09-2021 | 10:12 PM

COLOMBO (News 1st) - මේ මාසයේ සිට මෙරටදීම නිෂ්පාදනය කළ සේලයින් රාජ්‍ය සෞඛ්‍ය අංශ වෙත බෙදා හැරීම ආරම්භ කර තිබේ.

එම සේලයින් නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මහනුවර, පල්ලේකැලේ කර්මාන්තපුරයේ පෞද්ගලික සමාගමක් සමග එක්වයි. එහි පළමු තොගය අද (06) නිල වශයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දුන්නේ ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,
රාජ්‍ය අංශයට සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නතර කරනවා. මේ කර්මාන්ත ශාලාවේ පුළුවන් දවසකට මේ සේලයින් එක පැයකට සේලයින් බෝතල් 5000 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට අපේ රටේ සේලයින් සඳහා රාජ්‍ය අංශයේ අවශ්‍යතාව මිලියන 18 ක් වසරක් සඳහා. හැබැයි මේ කර්මාන්තශාලාවෙන් පුළුවන් වසරකට සේලයින් බෝතල් මිලියන 43 ක් නිෂ්පාදනය කරන්න. එතකොට මිලියන 25 ක් අපිට වැඩපුර වසරකට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉන් කොටසක් අපිට පෞද්ගලික අංශයට මේ රටේ ලබාදෙන්න පුළුවන්. ඒවාගේම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සේලයින් විදේශ රටවලට අපනයනය කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. විශේෂයේම සේලයින් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ මුලික වශයෙන් වතුර තමයි මෙකේ අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරන්නේ. ඒකේ තේරුම තමයි අපි දීර්ඝ කාලයක් පුරා පිටරටක වතුර තමයි මුලික වශයෙන් අපේ රටට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ සඳහා තමයි අතිවිශාල ධනස්කන්ධක් වැය කරලා තියෙන්නේ.