ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 06-09-2021 | 7:03 AM

COLOMBO (News 1st): ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පි හා සංගීතවේදී සුනිල් පෙරේරා මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්ප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 69 කි. ගායකයෙක්, ගිටාර වාදකයෙක් ලෙස මෙන්ම ගී පද රචකයෙකු ද වන ඔහු සංගීත කලාව පෝෂණය කළ මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකි. ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා වු සුනිල් පෙරේරා, ශ්‍රී ලාංකීය නාමය කණ්ඩායම් සංගීතය තුළින් ජාත්‍යන්තර වේදිකාවේ බබළවන්නේ, නව්‍යකරණය තුළින් කණ්ඩායම් සංගීතයට ඇතිකළ සුවිශේෂිත්වය නිසයි. 1952 සැප්තැම්බර් 14 වනදා උපන් සුනිල් පෙරේරා මහතා පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. සමාජ ආසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් පෙනී සිටි සුනිල් පෙරේරා, ගීතයෙන් සිය අදහස් සමාජගත කළේ ය. කොත්තමල්ලී, පිටිකොටපන් නෝනේ, මගේ නර්ස් නෝනා, තාත්ත මට ඇනපු ටොක්ක වැනි අතිශය ජනප්‍රිය ගීත සුනිල් පෙරේරාගේ නිර්මාණ අතර, සුවිශේෂයි. ජනතා ගායකයෙකු ලෙස ප්‍රසාදයට පත් සුනිල් පෙරේරා මහතා සමාජ පීඩනය හා ජන දුක ගැන සත්‍ය කතා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු අවස්ථාවාදී දේශපාලනය පිළිකුලෙන් බැහැර කළ අතර ජනසම්මතවාදයට ගරු කළේ ය. නිව්ස් ෆස්ට් ජන අසුන සහ 'දවස' වැඩසටහන්වලට එක්වෙමින් ද ඔහුගේ අව්‍යාජ තියුණු අදහස් පළ කළේ, සමාජ සුබ සිද්ධිය උදෙසායි . ජනතා ගායකයාණෙනි, ඔබට මොක් සුව!!