පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වෙයි..

ලක්මවටත් ගෞරවයක් එක් කරමින් චීනය පදක්කම් සටහනේ ඉහළටම ඔසවා තබමින් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වෙයි..

by Staff writer 05-09-2021 | 8:55 PM

COLOMBO (News 1st) - විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය, 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති, පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද(05) අවසන් වුණේ, චීනයට වැඩි ගෞරව දිනා දෙමිනි.

එහි සමාප්ති උත්සවය මේ වනවිට ටෝකියෝහී ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල " හැඟීමෙන් එකමුතුව" යන ආදර්ශපාඨය යටතේ පැවති අතර රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහස් හාරසියකට අදික පිරිසක් එක්ව සිටියහ. සමාප්ති උළෙල, විචිත්‍රාංග රැසකින් සමන්විත විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වූහ. එහිදී පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම නව ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට දිනා දීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. මේ අතර හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ද ක්‍රීඩා උළලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. ක්‍රීඩා උළලේදී රන් පදක්කම් 96ක් ඇතුළුව මුළු පදක්කම 207 ක් හිමිකර ගත් චීනය පැරාලිම්පික් ක්‍රීඩා උළලේ වැඩි ගෞරව දිනා ගත්තේය. බ්‍රිතාන්‍ය රන් පදක්කම් 41ක් දිනා ගනිමින් දෙවැනි ස්ථානයේ හිමි කර ගත් අතර අමෙරිකාව රන් පදකක්ම 37 ක් සමගින් තුන්වැනි ස්ථානය හිමි කර ගත්තේය. පැරාලිම්පික් ධජය මෙහිදී 2024 වසරේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන ප්‍රංශයට නිල වශයෙන් භාර දීම ද මෙහිදී සිදු කෙරිණි