මෙරට වැඩිම කාලයක් පාලන බලයේ සිටි, එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය අදයි...

by Staff writer 05-09-2021 | 11:27 PM

COLOMBO (News 1st) - නිදහසෙන් පසු වරින් වර ශ්‍රී ලංකාවේ වැඩිම කලක් පාලන බලයේ සිටි ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද (05) 75 වන සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජයීය, නිදහස අපේක්ෂා කළ සමයේ දැඩි ලෙස අවශ්‍යව තිබුණේ ජාතීන් අතර සමගිය හා ශ්‍රී ලාංකික හැඟීමයි. ඊට අනුබල දෙමින් 1946 සැප්තැම්බර් 06 වැනි දා එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ සියලු ජාතීන් නියෝජනය කරන පක්ෂයක් ලෙසය. පක්ෂය බිහි කිරීමේ යෝජනාව ගෙන එන්නේ රාජ්‍ය සභා මන්ත්‍රී එස්. නඩේසන් මහතායි. ස්ථිර කළේ, රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී. ජයා මහතායි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් ඇරඹි මෙම පක්ෂය 1948 බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීමේ සටනේ පෙරමුණේ සිටියේ ය. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. එතුමා ගොවිජනපද ව්‍යාපාරය හරහා මෙරට කෘෂි කර්මාන්තයට නව පණක් දුන්⁣නේ ය. 1977 මෙරටට විවෘත්ත ආර්ථිකය හඳුන්වා දුන්නේත් එක්සත් ජාතික පක්ෂයයි. නොමිලේ පාසල් පොත්, ඇඟලුම් කර්මාන්තය , ආයෝජන කලාප ඇතුළු රටේ සංවර්ධනය සඳහා යෝධ ව්‍යාපෘති බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමත් විය. එක්සත් ජාතික පක්ෂය තරුණයින් ඉලක්ක කරගත් අවස්ථා, හැකියා, දක්ෂතා ඔප් නංවාලීමේ අරමුණින් යොවුන් පුර හා තරුණ සේවා සභාව ඇතුළු වැඩසටහන් හා ආයතන පිහිටුවාලමින් මෙරට තරුණ ප්‍රජාව ශක්තිමක් කළේ ඔවුන්ට නව බලාපොරොත්තු එක්කරමිනි. මෙරට සංවර්ධන වැඩපිළිවෙළේ හැරවුම් ලක්ෂයක් වූ කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භවන්නේ ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේය. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල, ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග හා රනිල් වික්‍රමසිංහ යන නායකයින් පසුගිය 75 වසර තුළ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබා දුන්නේය. අද එක්සත් ජාතික පක්ෂය 75 වැනි සංවත්සරය සමරන්නේ එම පක්ෂයත් රටත් තීරණාත්මක සංධිස්ථානයකට අවතීර්ණ වී ඇති සමයක අලුත් දැක්මක් අවශ්‍යව ඇති මොහොතකයි.