COLOMBO (NEWS1ST) : පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මහා සංඝරත්නය ඇතුළු සියලු පාර්ශවයන්ගේ එකඟතාව හිමිවන්නේ නම් පමණක්, යළි එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.
ඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති පරාක්‍රම සමුද්‍රයේ රළපනාව යළි සකස් කිරිමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද ,වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.
නැගී ආ විරෝධය හමුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව යළි සැකසීමට බලධාරීන් තීරණය කරද්දී දෙවැනි අග්බෝ රජසමයේ ඉදිකෙරුණු කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේසූදානම පිළීබඳව පසුගිය දා හෙළි විය.
මේ ව්‍යාපෘතියට අදත් විරෝධතා එල්ල විය.
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක විමල් පියතිස්ස පැවසුවේ, මහජන හඬට කන් නොදී සිදු කරන මෙම ක්‍රියාවලිය ප්‍රදේශවාසීන් ලෙස දැඩි පිළිකුලෙන් හෙළා දකින බවයි.
සීනිපුර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කඹුරාවල රතනපාල හිමි පවසන්නේ, රටේ ප්‍රශ්න පිළිබඳව ඊට වඩා පුමුඛතා ලේඛනයක් තිබිය යුතු බවයි.
''ඉස්සර හිටිය රජදරුවෝ අනාගතයේ ඇතිවන පරම්පරාවට කාලාබිලා සැනසිල්ලේ ඉන්න කියලා හදපු ඒවායේ වර්තමානයේ ඉන්න අය ජෝගි නටන්න හදන එක මංතීරුවලින් පෙන්නුම් කරන්නේ''
ගොවිබිම් අක්කර 27,000 කට අමතරව කන්තලේ, ත්‍රිකුණාමලය, කින්නියා යන ප්‍රදේශවලට පානිය ජලයද සැපයෙන්නේ මෙම ජලාශයෙනි.
කන්තලේ නගරයට පානීය ජලය ලබාදීමේ අරමුණනින් වැව් බැම්ම මත ජල පොම්පාගාරයක් ඉදිකිරීමට යාමෙන් 1986 වසරේ අපේල් 20 වැනිදා එය බිඳී ගියේ ය.
එහිදී ජිවිත මෙන්ම දේපළ රැසකට හානිවිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදු කළ පැහැදිලි කිරීම පහතින්...
''1986 මේ විශාල බැම්ම කඩාගෙන ගිහිල්ලා විශාල විනාශයක් වුණා. ගෙවල් 1600 ත් 2000 ත් අතර ප්‍රමාණයක් විනාශ වුණා. මිනිසුනුත් ජීවිත නැතිවුණා. 180 ක් විතර කිට්ටුව ඉතින් මේ හානි සිද්ද වුණේ ඇත්තෙන්ම නොසලකා හැරීම් කිහිපයක් නිසා. ඒ කියන්නේ ජලාශයේ බැම්ම මත ජල පොම්පාගාරයක් ඉංජිනේරුවරුන්ගේ උපදෙස් නොතකා ඉදිකරපු නිසා තමයි ඒ අවස්ථාවේ විශාල විනාශය වුනේ ඉතින් අපි තවදුරටත් ඉදිරියේදී මේ වැව්වල බැමි ආශ්‍රිතව කිසියම් දේවල් ගැන තීරණය කරනකොට නිවැරදි තාක්ෂණය සහ ඒ වගේම වෙන්න පුළුවන් හානි ගැන හොඳ අවධානයක් ලබාදිලා කටයුතු කළ යුතුයි''
මේ අතර ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරිමේ සැලසුම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පස්වරුවේ පැවැත්විණ.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, ගොවි සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව සිටියහ.
මේ අතර පොතුවිල් මේන්කුලම් වැවත් පිරිසක් විසින් අනවසරයෙන් ගොඩකරන බවට ලැබුණු තොරතුරකට අනුව පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරවාසි පූජ්‍ය උඩලමත්තේ රත්නප්‍රිය හිමියන් සහ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සොයා බැලීමට ගොස් තිබිණ.
එහිදී දක්නට ලැබුණේ නිවාස දෙකක් වැව ගොඩකරමින් සකස් කර ඇති අතර තවදුරටත් ගොඩකිරීම් කරන බවයි.
මේ සම්බන්ධයෙන් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් සදරුවන් අනුරුද්ධ මහතාගෙන් කළ විමසීමකදි ඔහු පැවසුවේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එක්පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර අතර සෙසු පිරිසට එරෙහිවද නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.
භූමි ප්‍රමාණයට සාපේක්ෂව ලොව වැඩිම යුනෙස්කෝ ලෝක උරුමයන් සහිත රටක් හැටියට ශ්‍රී ලංකාව සැලකිය හැකියි.
එ අතරට වසර 350 ට පමණ ඉහතදී පෘතුගිසින් හා ලන්දේසින් ඉදි ඉදි කරවූ ගාලු කොටුව ද ඇතුළත් ය.
ඉන් එය අදටත් ආරක්ෂාකාරීව පවතී.
නමුත් වසර 2000 ට වඩා පැරණි බසවක්කුලම වැව අදටත් ලෝක උරුමයක් නොවේ.
වසර 1500 ට අධික ඉතිහාසයක් ඇති මින්නේරිය වැව ඇතුළු මෙරට වැව් පද්ධතියම යුනෙස්කෝ ලෝක උරුමයක් නොවන්නේ මන්ද යන්න සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයකි.
ලොව කිසිම රටක නොමැති එල්ලංගා පද්ධති 900 කින් පමණ ද ශ්‍රී ලංකාව සමන්විතයි.
නමුත් එල්ලංගා පද්ධති වුද මෙතෙක් යුනෙස්කෝ යුනෙස්කෝ ලෝක උරුමයක් නොවේ.
මේ අතීත උරුමය මතු පරපුර වෙනුවෙන් දායද කිරීමට නම් අද සිටම එවා ආරක්ෂා කිරීම සිදු කළ යුතුයි.
ඒ වෙනුවෙන් මෙරටට පමණක් හිමි මේ දැවැන්ත නිර්මාණ යුනෙස්කෝ ලෝක උරුමයක් කර ආරක්ෂා කර ගැනීමට රජයන් සහ බලධාරීන් කටයුතු නොකරන්නේ ඇයි?