පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම නවතී

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිත ඇවිදින මංතීරුව ඉදිකිරීම අත්හිටුවයි

by Staff writer 05-09-2021 | 9:50 AM

COLOMBO (NEWS1ST) : පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ‍සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මහා සංඝරත්නය ඇතුළු සියලු පාර්ශවයන්ගේ එකඟතාව හිමිවන්නේ නම් පමණක්, යළි එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරිමට පියවර ගන්නා බවයි. පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති ගල් යළි සකස් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ද , ඔහු ප්‍රකාශ කළේ ය.

ඇවිදින මංතීරුව ඉදි කිරීමට එරෙහිව නැගුණු විරෝධය...

ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කොට එහි ඉදි කරමින් පවතින ඇවිදින මංතීරුවේ වැඩ වහා ම නවත්වන්නැයි, ඉල්ලමින් මහා සංඝරත්නය පසුගිය 27 වනදා වැව් බැම්ම වෙත වැඩම කළහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පිරිසක් හා ප්‍රදේශවාසීන් ද මෙම විරෝධතාවට එක්ව සිටි අතර භික්ෂූන් වහන්සේ පිරිස මෙම ඉදිකිරීමට විරෝධය පළ කරමින් වැව් බැම්මට එපිටින් පිහිටි මාර්ගයේ සිට සිය විරෝධය පළ කළහ. භික්ෂූන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කිරීමෙන් පසු වාරිමාර්ග ඉංජිනේරුවරයා, පොළොන්නරුව දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ද එම ස්ථානයට පැමිණියහ. භික්ෂුන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඉදි කිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන බවත් , අදාළ ඉදිකිරීම් සඳහා භාවිත කරන බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා බවටත් පොරොන්දු වීමෙන් අනතුරුව එදින පිරිස විසිර ගියේ ය. මෙලෙස පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට එලෙස සූදානම් වූයේ, ඊට මීටර් 500ක නුදුරින් තවත් මං තීරු දෙකක්ම පිහිටා තිබියදී ය. අහසින් වැටෙන එක් දිය බිඳක් හෝ මුහුදට ගලා යාමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගන්නැයි ජාතියට ඉගැන්වූ පරාක්‍රමබාහු මහ රජතුමා ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ, එතුමාගේ ඒ උතුම් පරමාර්ථය යථාර්ථයක් කරමිනි. මහා ජලකඳක් දරාගෙන රජරට කෙත්වතු සරු කරන මේ මහා ජලාශය පරාක්‍රම සමුද්‍රය යයි නම් ලැබුවේ එහි මහ ජල කඳ තුළින් සමුද්‍රයක් මෙන් රළ නැගී බිඳෙන නිසාවෙනි. මහ මුහුදේ රළගෙඩි තරම් විශාල ඒ රළ පහරවල් වැව් බැම්මේ වැදෙන විට වැව් බැම්ම සේදී නොයවා ආරක්ෂා කළේ , රළපනාවයි. වැවක් නිර්මාණය වන්නේත් එහි දිය කඳ ආරක්ෂා වන්නෙත් එහි බැම්මෙන් වන අතර වැවේ දිය රළවලින් ඒ බැම්ම ආරක්ෂා වන්නේ රළපනාවෙනි. https://www.youtube.com/watch?v=gdZW7gYkL0I