ඕක්ලන්ඩ් ප්‍රහාරය ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි - නවසීලන්ත අගමැතිනිය

by Sagarika Chathumali 04-09-2021 | 10:12 AM

COLOMBO (NEWS1ST) :

"ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මිස, ඇදහිල්ලකින්, සංස්කෘතියක හෝ ජන වර්ගයක ක්‍රියාවක් නොවේ. මෙම ක්‍රියාවේ වගකීම දැරිය යුත්තේ ඔහු පමණයි."

මේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී ඊයේ (03) පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ පිහිඇණුමෙන් පසු නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් මහත්මිය අපරාධය හෙළා දකිමින් සිදු කළ ප්‍රකාශයයි. පිහිඇණුම සිදුවී විනාඩියක් පමණ කෙටි කාලයක් ඇතුළතදී අපරාධයට සම්බන්ධ ශ්‍රී ලාංකික අන්තවාදී සැකකරු නවසීලන්ත පොලිසීය විසින් ඝාතනය කරනු ලැබිණ. සිදුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියේ, පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සැකකරු පමණක් මෙහි වගකිවයුත්තා වන බවයි. මෙය පහත්, වැරදි සහගත වේදනාකාරී ක්‍රියාවක් බවත් ඔහුගේ මතවාදය කිසිදු පුද්ගලයෙකු හෝ සමාජයක් විසින් පිළිනොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය. අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සිද්ධිය සැලවීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන සිටින අවස්ථාවක තුවාල ලැබූවන්ට උදව් කළ පිරිසට තමා ස්තුතිය පළ කරන බවත් ය. සැකකරු IS ත්‍රස්ත කණ්ඩායමේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන තිබිණ. මේ අතර 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති ඔහුගේ මතවාදය පිළිබඳව සැලකිලිමත් වීම හේතුවෙන් වසර කිහිපයක් තිස්සේ මොහු  එරට ආරක්ෂක අංශවල නිරන්තර අධීක්ෂණයට සහ දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටි පුද්ගලයෙකි. මේ අතර නවසීලන්ත පොලිස් කොමසාරිස්වරයා පවසන්නේ, මෙම පුද්ගලයා තනිවම කටයුතු කර ඇති බවට නිලධාරීන් විශ්වාස කරන බවත් ඒ අනුව තවදුරටත් සමාජයට අනතුරුදායක කිසිවක් නොමැති බවයි. කෙසේ වෙතත් යමෙකු දැඩි නිරීක්ෂණයට ලක් කරමින් සිටිය ද ආරක්ෂක අංශවලට සෑම අවස්ථාවකම සමීපස්ථව ඔවුන් ආසන්නයේ රැඳීමට නොහැකි අවස්ථා පවතින බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම ප්‍රහාරය සැලකෙන්නේ, 2019 වසරේ මාර්තු මාසයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයට පසු නවසීලන්තයේ සිදුවූ පළමු ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි.