COLOMBO (NEWS1ST) : අදත් දිස්ත්‍රික්ක 23 ක් කේන්ද්‍ර කරගනිමින් එන්නත්කරණ වැඩසටහන මධ්‍යස්ථාන 284 කදී ක්‍රියාත්මක කෙරිණ.
වීරකැටිය නයිගල යොවුන් සේනාංකයේදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව වයස අවුරුදු 20ත් 30 ත් අතර පුද්ගලයින්ට එන්නත්කරණය සිදුවුයේ යුද හමුදාවේ මැදිහත්වීමෙනි.
එම එන්නත්කරණ මධ්‍යස්ථානය නිරීක්ෂණයට පැමිණ සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එන්නත්කරණය පිළිබඳව මාධ්‍යට අදහස් පළ කළේ ය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එන්නත්කරණය පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ සහ එම වැඩපිළිවෙළ සකසා ඇත්තේ, සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට අනුකූලව මිස වෙනත් හේතු මුල් කරගෙන නොවන බවයි.
''එන්නත්කරණය කරන දිස්ත්‍රික්කය , කරන එන්නත් ප්‍රමාණය සහ මොන එන්නත ද දෙන්නේ කියන කාරණය තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය. පහුගිය කාලේ මන්නාරම එන්නත්කරණය කළා, මහනුවරට එන්නත්කරණය කළා. හම්බන්තොට ඔය කියන වර්ගයේ එන්නත් කරනවා. ඉතින් පහුගිය කාල සීමාවේ ඕවා ගැන කථා කළේ නෑ''
එන්නත්කරණය කරන්නේ දේශපාලන පක්ෂය, භාෂාව, ජාතිය හෝ ආගම බලා නොවන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 237, 334 දෙනෙකුට ඊයේ දිනය තුළ එන්නත් ලබා දී තිබේ.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ස්පුට්නික් V එන්නතතේ පළමු මාත්‍රාව ලබාගත් බොහෝ දෙනෙකුට එහි දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් ප්‍රශ්න කෙරිණ.
එහිදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, සෑම එන්නතකම ලැබීම නොලැබීම තිබෙන්නේ, මෙරට පාලනයෙන් තොර ඉතාම අවිනිශ්චිත තත්ත්වයක බවයි.
''ඉතින් අපි මේ එන්නත් ලබාදෙන හැම අවස්ථාවකම ඒ එන්නත් ලබාදෙන කොට ඒ ඒ කණ්ඩායම්වලට ඒ පිළිබදව දැනුවත් කරලා තමා දුන්නේ. මේක අවිනිශ්චිතතාව රජයේ ප්‍රශ්නයක්වත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. දෙවැනි මාත්‍රාව ලැබුනේ ඉතා සුළු ප්‍රමාණයක් 15000 ක් වාගේ . 15000 ඒවා 2 ක්. ඒක හින්දා තමා අපි මුලදීම කිව්වේ මේක එක එන්නත් මාත්‍රාවකින් මේකේ ප්‍රතිශක්තිකරණය ලැබෙන බවත් දැනුම් දුන්නා. ඒවාගේම තමා දෙවැනි එන්නත ලැබුණාම ලබාදෙන කියලත්''
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මහනුවර ස්පුට්නික් පළමු එන්නත ලබා දෙන අවස්ථාවේ අත්සනක් ගැනීම ගැන සැකයක් මතු වන බවයි.
''මැයි මාසේ මේ එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දෙන කොට මේ අය දැනලෙන හිටියා දෙවැනි මාත්‍රාව සොයා ගන්න බැරිවෙයි කියලා. ඒකයි එම අවස්ථාවේදී ලිපියකට අත්සන් ගත්තා. සමහර අය අලපිට දුරකථනයෙන් කථා කරලා කිව්වා අපිට ලිපියකට අත්සන් ගන්නවා. දෙවැනි මාත්‍රාව අනවශ්‍යයි කියලා. ඒකෙන් පෙන්වන්නේ මේ පළවෙනි මාත්‍රාව දෙනකොට මේ අය දැනගෙන හිටියා දෙවැනි මාත්‍රාව දෙන්න අපහසු බව. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව රැවැට්ටුවා. හිතාමතා රැවැට්ටුවා. ඒ අය අනතුරේ දැම්මා. මහනුවර ඉන්න ඉහළම ප්‍රභූ අය මේ පළවෙනි මාත්‍රාව ගත්තේ නෑ. මොකද ඒ අයත් දැක්කා වෙබ් සයිට්ස්වල මේ එන්නත නිශ්පාදනය කිරීම නවතා දමා ඇති බව. මේ රටේ අහිංසක ජනතාව සාමාන්‍ය ජනතාව රැවැට්ටුවා''