ෆයිසර් එන්නත ලබාදීම යුද හමුදාව යටතේ සිදු කරන්නේ ඇයි?

by Staff writer 03-09-2021 | 10:12 PM

COLOMBO (NEWS1ST) :  අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කැදවා තිබු මාධ්‍ය හමුවේදීද එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබදව අවධානය යොමු විය.

විශේෂයෙන් ෆයිසර් එන්නත යුද හමුදාව විසින් එන්නත්කරණය සිදුකිරීම සම්බන්ධව එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එන්නත්කරණ ක්‍රමවේදය තුළ මෙම එන්නත සඳහා බැලූ බැල්මට දැඩි ඉල්ලුමක් තිබීම හේතුවෙන් පොදුවේ තමන්ට පවා එම එන්නත ලබා දෙන ලෙසට ඇතැමුන් ඉල්ලිම් කරන බවයි.
''අපිට පොදුවේ මට පවා එනවා යම් පීඩනයක් එක එක අයගෙන් අපිටත් මේ එන්නත ලබා දෙන්න. අපිටත් මේ එන්නත. මේක පළාතේ රට පුරා තියෙන සියලුම සෞඛ්‍ය සේවකයින්ට එනවා. ඉතින් ඒගොල්ලෝ ඉතා අමාරුවෙන් තමා මේ පීඩනය දරා ගනිමින් මේ කටයුත්ත් කරගෙන යන්නේ''
ඔහු සඳහන් කළේ, පුද්ගල වෙනස්කම් මත ඇතැමුන් එකී පීඩනයන්ට යටත් වන බවත් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා වෙනත් ආයතන හරහා හෝ මෙය නිවැරදිව ලබා දීමට උත්සාහ කරන බවත් ය. මෙවැනි තීරණයට එළැඹ ඇත්තේ, එන්නත්කරණය පහසුවෙන් කරගෙන යාමට අවශ්‍යතාව මිස මෙහිදී සෟඛ්‍ය සේවයේ නොහැකියාවක් නිසා හෝ  සෞඛ්‍ය සේවයේ වරදක් කරන නිසා නොවන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේ ය.