පහළ මල්වතු ඔය පුරාවිද්‍යා භූමි සංරක්ෂණයට සැලසුම්

පහළ මල්වතු ඔය ජලාශයට යටවන භූමි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානවල කැණීම්..

by Staff writer 03-09-2021 | 10:35 AM

COLOMBO (News 1st) - අනුරාධපුර, පහළ මල්වතු ඔය ජලාශයට යටවන භූමි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන කැණීම් කර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කැණීම් අංශයේ ආචාර්ය තුසිත වගලවත්ත මහතා සඳහන් කළේ, මීට පෙර එම ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ ගවේෂණයකින් හඳුනා ගත් පුරාවිද්‍යා ස්ථාන 21ක් මේ යටතේ කැණීම් කර සංරක්ෂණය කරන බවය. ඊට මෙගලිතික සුසාන ස්මාරක 02ක්, මල්වතු ඔය හරහා ඉදිකල පැරණි ගල් පාලමක් මෙන්ම, ස්තූප ගොඩනැගිලි කිහිපයක් ද අයත්ය. ආචාර්ය තුසිත වගලවත්ත මහතා ප්‍රකාශ කළේ, පුරාවිද්‍යා ගලවා ගැනීමේ කැණීමක් ලෙස මෙය ක්‍රියාත්මක බවය. කැණීම් මගින් මතුකර ගන්නා පුරාවස්තූන් සහ පුරාවිද්‍යා ස්මාරක ජලාශයට යට නොවන උස් ස්ථානයක් වෙත රැගෙනයාමට බලාපොරොත්තුවන බව ද ආචාර්ය තුසිත වගලවත්ත මහතා සඳහන් කළේ ය. අනුරාධපුර, තන්තිරිමලේ බෝගොඩ ප්‍රදේශයෙන් මල්වතු ඔය හරස් කර කිලෝමීටර් 03ක් දිග බැම්මක් ඉදිකර එම පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට නියමිතය. පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ප්‍රදේශයේ හෙක්ටයාර් 3,000ක් පමණ යටවන අතර මෙම භූමි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරක සියල්ල කැණීම් කර සංරක්ෂණය කිරීම මෙම කැණීම මගින් සිදු කෙරෙනු ඇති.