වැව් උරුමය ලෝක උරුමයක්  කළ යුතු නොවේද?

පරාක්‍රම සමුද්‍රය ලෝක උරුම ලැයිස්තුවට එක් කරන්න ප්‍රමාද ඇයි?

by Staff writer 03-09-2021 | 11:14 PM

COLOMBO (NEWS1ST) : ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව මේ වනවිට සමාජයේ දැඩිව අවධානයට කල්වූ කරුණක් බවට පත්ව තිබේ.

ඓතිහාසික පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ සිදුවීම තුළින් සමාජයේ ඒ පිළිබඳව තව තවත් සංවාදයට ලක්වන්නට විය. තාවකාලිකව නවතා දමා ඇතත් තවමත් බැකෝ යන්ත්‍ර යොදා පරාක්‍රම සමුද්‍රයේ රළපනාවට සිදුකළ හානිය යථා තත්ත්වයට පත්කර නොමැත. පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා බිඳ දමා අදට දින 9 ක් ගතව අවසන් ය. විවාදයකට තුඩුදී ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා හානිකළ රළ පනාව නිරීක්ෂණයට මහා සංගරත්නය සමග ඇලහැර ගොවිජනපදයේ ගොවීන් පිරිසක් ද එක්ව සිටියහ. මේ අතර මහා සංඝරත්නය ද අද ස්ථෘන කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමි පැවසුවේ, වැව සහ වැව් බැම්ම රැක ගැනීම පොළොන්නරුවට සම්බන්ධ සෑම දෙවාට ම මෙන්ම ලක්වාසී සියලු දෙනාම සතු යුතුමකමක් බවයි. තව ද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක (ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය) පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසන්නේ, ජොගින් පාත් ඉදිකරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවට නොව මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට කොමිස් මුදලක් ලබා ගැනීම සඳහා බවයි.
''සත්‍ය වශයෙන්ම පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ජොගින් පාත් එකක් හදන්න මහා පරිමාන වියදම් දරන්න කලින් ඒ ප්‍රදේශයේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. පිරිසිදු වතුර නැහැ. ගොවිතැනට පහසුකම් නැහැ. මේ වගේ ඉල්ලීම් රාශියක් තියෙද්දී ඒවට විසඳුම් නැතුව ජොගින් පාත් එකක් ඉදිකරන්නේ මිනිස්සුන්ගේ අවශයතාවයට නෙමෙයි. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට කොමිස් මුදලක් ලබාගන්න තමයි මේක කරන්නේ. මේ වෙලාවෙ ජොගිං පාත් හදන වෙලාවක් නෙමෙයි''
ඓතිහාසික පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඇතුළු අපගේ වැව් පද්ධතියේ වටිනාකම පිළිබඳව රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති වාරි පුරා විද්‍යාඥ මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා මෙසේ විස්තර කළේ ය.
''ලෝකයේ පැරණි ශිෂ්ටාචාර සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී ඒ ශිෂ්ටාචාර ගොඩනැගිච්ච භූ දර්ශනයට සාපේක්ෂව ඒ ශිෂ්ටාචාර වලත් මේ වාරි කර්මාන්තය ගොඩනැගෙනවා .මෙ වාරි කර්මාන්තය ලෝකයේ විවිධ කලාපවල තිබුණට ඒවා ඒ ඒ කලාපවල තියෙන භූමිය සැකැස්ම අනුව වෙනස් වෙනවා. නමුත් ඒ ඒ කලාපවලට ඒවා අනන්‍ය වූ සාධක . එ් අනන්‍ය වූ සාධක නිසා අපිට හඳුනගන්න පුළුවන් ඇතැම් ඒවා ලෝක උරුමයන් බවට පත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඉරාන ප්‍රදේශයේ හඳුනාගන්න පුළුවන් කානට් කියන වාරිමාර්ග ක්‍රමය ලෝක උරුමයක් බවට පත්වෙලා තියෙනවා . ඒ විතරක් නෙමෙයි දකුණු ඇමරිකානු කලාපයේ තියෙන ජල සම්පාදන ක්‍රමය ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙනවා . එතකොට අපිට පේනවා මේවා එකින් එක කලාපවල වෙනස් වුණාට මේවා සියල්ලම මේ වාරි පුරාවිද්‍යාව තුළ කතා කරන්න පුළුවන්. අපිට පේන ප්‍රධාන කාරණයක් තමයි ලංකාවෙ තරම් එකට සමීප වෙච්ච වැව් සමග ගොඩනැගිච්ච වාරි පද්ධතියක් ලෝකයේ වෙන කොහෙවත් ම නැහැ . එනිසා මේක අපේ රටටම ආවේණික එකක්. වාරි පුරාවිද්‍යාඥයන් හැටියට මං මේ වාරි කර්මාන්තය දකින්නේ අපේ හදවත කියලා මිනිසුන්ගේ ජීවිතය අනාදිමත් කාලයක ඉඳලා ගොඩනැගුනේ මේ වාරි කර්මාන්තයත් එක්ක .ඒත් එක්ක ගොඩනැගිච්ච සමාජ සාරධර්ම සංස්කෘතික හර පද්ධතියක් තියෙනවා . මෙන්න මේ නිසා අපි ඒක ඒ ආකාරයෙන්ම රැකගෙන යන්න ඕන නිසා තමයි අපි ගානට මේක ක්‍රමානුකූලව ආරක්ෂා කරමින් ඉදිරි පරපුරට.. මේක කාගෙවත් පෞද්ගලික අරමුණක් නෙවෙයි . දේපළක් නෙවෙයි මේක අනාගත නූපන් පරපුරේ දායාදයක් ඒ නිසා ඔවුන්ටත් මේක උරුම කර දෙන්න ඕන''
ලෝකයේ වැව් ශිෂ්ටාචාරයක් තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. මේ වනවිටත් අපගේ එල්ලංගා පද්ධතිය ලෝක කෘෂිකර්ම සංවිධානය විසින් ලෝක කෘෂිකර්ම උරුමයක් හැටියට නම්කර තිබේ. මේ තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ වැව් උරුමය ලෝක උරුමයක් හැටියට පත් කිරීමට රටක් ලෙස කළ යුතු වගකීම ඉටුකළ යුතු නොවේද?