නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරි නීති කාලය සැප්. 13 අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ

by Sagarika Chathumali 03-09-2021 | 12:27 PM

COLOMBO (NEWS1ST) : මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවුසවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවයි. එහිදී එන්නත්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී අතර අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු වී තිබේ. සියලු ම දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි සිදු කෙරුණු වයස අවුරදු 30ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා එහිදී ප්‍රශංසව පළ කර ඇත. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ, වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බවයි. මේ අතර  පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සාකච්ඡාවට එක්වෙමින් පවසා ඇත්තේ, දෛනිකව 400-450ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කෙරෙන බවත් ඒ ඒ මධ්‍යස්ථාන වෙත ලබාදෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තීරණය වන බවත් ය. තව ද එන්නත්කරණයෙන් අත් කරගත් සාර්ථකත්වය සමග නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙම විශේෂ කමිටු රැස්වීමේදී පෙන්වා දී ඇත. 2020 මාස 03කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබූ බවත් කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ බව මෙම සාකච්ඡාවට එක්ව සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. මේ අතර ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත්තේ, කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ත්‍රිවිද හමුදාපතිවරු, කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයින්, සෞඛ්‍ය අංශ නිලධාරීන් ඇතුළු මැති අමතිවරුන් පිරිසක් සාකච්ඡාවට සම්බන්ධවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.