COLOMBO (News 1st) - වෙළෙඳපොළේ පාලන මිලට සීනි ලබා ගන්න ප්‍රදේශ රැසක ජනතාව අදත් (03) සතොස වෙළෙඳසැල් ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටියහ.
මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ පෞද්ගලික ගබඩවක තිබූ තවත් සීනි මෙට්‍රික්ටොන් 115ක් අද සොයා ගැනිණි.
ඒ, ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදු කළ එකාබද්ධ මෙහෙයුකදීය.
අදාළ සීනි තොගය පසුගිය අප්‍රේල් මාසයේ අදාළ ගබඩාවට රැගෙනවිත් ඇති අතර ඒ සඳහා තමන්ට නිසි බලපත්‍ර ඇති බව ගබඩාවේ හිමිකරුවන් සඳහන් කරයි.
කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගබඩාවේ හිමිකරුට දැනුම් දුන්නේ, මේ වනවිට රජය නිකුත් කර ඇති උපරිම මිලට යටත්ව සීනි තොග බෙදාහැරීම සිදු කළ යුතු බවය.
කටාන, දෙමන් හන්දිය ප්‍රදේශයේ පිහිටා ඇති කොප් සිටි වෙළෙඳසැල්වල අද(03) පෙරවරුවේ සීනි අලෙවි කෙරුණේ උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකටය.
කලු කඩ මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන්ට හා සීනි සඟවා සිටින පුද්ගලයින්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස කන්නලව් කරමින් ගාල්ල, තෙල්වත්ත කාන්තාවන් පිරිසක් සීනිගම දෙවොල් දේවාලයේදී පොල් ගැසීමක් ද සිදු කළහ.
මේ පවතින සීනි අර්බුදය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා අද අදහස් පළ කළේය.
සීනි සඳහා පාලන මිලක් ඉදිරිපත් කළා. ඊට පස්සේ පාලන මිලට වෙළෙඳපොළේ තිබුනේ නෑ සීනි ගන්න අපි පිළිගන්න ඕනේ. සහල් සඳහා පාලන මිලක් පත් කළා. සහල් පාලන මිලට වෙළෙඳපොළේ තිබුණේ නෑ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා ජනතාවට අසීමිත අසාධාරණ මිලකට මේවා මිලදී ගන්න සිද්ධ වුණා කියන එකත් අපි පිළිගන්න ඕනේ. නමුත් මිල පාලනය කරන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. අපි උත්සාහ කළා පාරිභෝගික අධිකාරියේ තිබෙන නීතිරීති වෙනස් කරන්න විශේෂයෙන්ම දඩ මුදල වැඩි කරන්න. ලබන අඟහරුවාදා ඒ දඩ මුදල වැඩි කිරීම සම්බන්ධව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරනවා.
ජාතික ජන බලවේගයේ පා.ම, විජිත හේරත් මහතා,
යම් යම් මාධ්‍ය ආයතන සහ පුද්ගලයින් දීපු ඔත්තු අනුව මේ සීනි තිබිච්ච ඒවා හොයා ගත්තා කියලා රටට පෙන්නුවා. ව්‍යාපාරිකයින් ඒවා තියාගෙන ඉන්නවා. ඒවා පාරිභෝගික අධිකාරිය දන්නේ නැද්ද. ආණ්ඩුව එක දන්නෙ නැද්ද. දැන් මේ කරන්නේ ජනතාවට නාට්‍ය පෙන්නන එක. මේ සංදර්ශන පෙන්නන එක. අතන වැටලුවා මෙතන වැටලුවා මෙතන මෙට්‍රික් ටොන් මෙච්චර ගාණක් තිබ්බා. මේ ව්‍යාපාරිකයින් මාර අපරාධයක් කරලා තියෙන්නේ, ව්‍යාපාරිකයින් තමයි මේ වැරැද්ද කරල තියෙන්නෙ, රජය නෙමෙයි මේකට වගකියන්න ඕන, ව්‍යාපාරිකයින් නීතිවිරෝධී විදියට තොග ගබඩා කරපු එකයි වැරැද්ද කියලා වැරැද්ද ව්‍යාපාරිකයින් පිටින් පටවලා ආණ්ඩුව ඇඟ බේරගන්න හදන උත්සාහයක් මේ තියෙන්නෙ. එක සීනි කිලෝ එකක් ඊයේ රාත්‍රියේ ගහපු ගැසට් නිවේදනයෙන් රුපියල් තිස් හතකින් සීනි කිලෝ එකක් වැඩි කරල තියෙනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ ගාණක් සත විසිපහේ සොච්චම් බද්දට ගෙනහල්ලා ගුදම්වල හංගගෙන ඉඳලා ආණ්ඩුවම සල්ලි දීලා ඒ සීනි ටික මිලදී ගත්තම, ඒ ව්‍යාපාරිකයින්ට ගජ වාසි. දැන් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ තවත් රජ වාසියක් තමන්ගේ ගජ මිතුරන්ට ලබාදීම පමණයි. සහන දුන්න, ගෙනාවා, හැංගුවා මිල වැඩි කළා ඇල්ලුවා දැන් මිලදී ගන්නවා, ආණ්ඩුවයි ව්‍යාපාරිකයින් එකට එකතු වෙලා අන්දරේ සීනි කෑවා වගේ උඹේ කටෙත් සීනි මගේ කටෙත් සීනි කියලා දැන් දෙන්නම ගජරාමෙට සීනි කනවා.