හදිසි නීති ගැසට්ටුව ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්

හදිසි නීති ගැසට්ටුව ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් - විපක්ෂ නායකවරයා

by Staff writer 02-09-2021 | 9:42 PM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවා පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් පළ කළේය.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා,
රජයේ දුර්වල, දුබල, අකාර්යක්ෂම, නොහැකියාවෙන් පෙළෙන ක්‍රියාදාමයන් නිසා රටේ ඉමහත් ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. නැවතත් වරක් 70, 77 කාලේ වගේ පෝලිම් යුගයක් බිහිවෙලා තියෙනවා. ඊට ප්‍රධානම හේතුව දුර්වල, ආර්ථික සහ මූල්‍ය කළමනාකරණය. ඇත්ත වශයෙන්ම මේ රටේ භාණ්ඩ මිල සාධාරණ ක්‍රමයකට පාලනය කරන්න, හදිසි නීතියක් අවශ්‍ය ද? 2003 අංක 09 දරණ පාරිභෝගික පනත හරහා ඒ කර්තව්‍ය කරන්නට පුළුවන්. හදිසි නීතියක් අවශ්‍ය නෑ. ඇත්ත වශයෙන්ම මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟතාවයක් ඇති කරමින් ගබඩාවල මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් අනවසරයෙන් ගබඩා කරමින් ඒ කටයුතු කරන ඒ කණ්ඩායම්වලට නිසි දඬුවම් ලබාදෙන්න ඕනේ. නිසි වගේම මම විශ්වාස කරනවා දැඩි දඬුවම් ලබාදෙන්න ඔනේ. නමුත් ඒකට හදිසි නීතියක් අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නෙ 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතේ විධිවිධානයන් ප්‍රතිපාදනයන් ක්‍රියාවට නැංවීම. අපි තරයේ විශ්වාස කරනවා හදිසි නීතියක් අවශ්‍ය නෑ, මේ රටේ භාණ්ඩවල මිල පාලනය කරන්න කියලා, එය ඉතාමත්ම හොඳින් වර්තමානයේ තියෙන නීතිමය ප්‍රතිපාදන හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. රජය උත්සහ දරනවා භාණ්ඩ හිඟතාවය, බඩුමිල වැඩිවීම තුළ මේ හදිසි නීතිය සක්‍රීය කරගන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන්න. අපි ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය විනාස කරන මේ ම්ලේච්ඡ ක්‍රියාව වහාම නතර කරන්න. මේ රටට අවශ්‍ය කරන්නේ ඒකාධිපතිත්වයක් නොවේ. මේ කරන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කර දමලා රජයට රිසි සේ මේ රටේ ප්‍රතිවාදී මතයන් දරන විපක්ෂය කෙසේ හෝ මර්දනයෙන් කළමනාකරණය කර ගැනීමට. ආණ්ඩුවෙන් එක ඉල්ලීමක් කරනවා ජනදුක ඉදිරියේ තවදුරටත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පීඩනයට ලක් කරන්න කටයුතු කරන්න එපා. අපි කිසිසේත්ම මේ රාජ්‍ය ම්ලේච්ඡත්වය ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන මේ ආණ්ඩුවේ මෙහෙයුමට අපි කිසිසේත්ම එකඟ වන්නේ නෑ.