හම්බන්තොටටම ඇයි ෆයිසර් ? - GMOA

සෞඛ්‍ය අංශය මිනිස්සුන්ගෙන් බැණුම් අහන තත්ත්වයකට තල්ලු කරලා - GMOA

by Staff writer 02-09-2021 | 9:22 PM

COLOMBO (NEWS1ST) :  එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබාදීම වසංගත රෝග විද්‍යා ඒකකයේ වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසන්නේ, අදාළ ඒකකය මගින් රෝහල්වලට ලබාදිය යුතු ප්‍රමාණවලින් එන්නත් මාත්‍රා ලබා දීම සිදු නොවන බව මේ වනවිට ඇති ප්‍රධානතම ගැටලුව බවයි.
''මේකෙන් වෙන්නේ උපරිම ධාරිතාවකින් එන්නත්කරණය ඉතාමත් යුහුසුළුව කරගෙන යන සෞඛ්‍ය සේවය නිරපරාදේ හෑල්ලුවට ලක්වීම විතරයි. මේ හමුදාව මගින් එන්නත්කරණය සිදුකරන ස්ථානවලට ඇති ප්‍රමාණයට දිගින් දිගටම එන්නත් මාත්‍රා හරි ආකාරව ලැබීම සිද්ධ කරනවා. ඕන තරම් එන්නත් මාත්‍රා ඒ තැන්වල තියෙනවා''
අත්තනෝමතික ලෙස එන්නත්කරණය සෞඛ්‍ය අංශයෙන් කප්පාදු කර ක්‍රියාවලිය අඩාල කර,සෞඛ්‍ය අංශ මිනිසුන්ගෙන් බැණුම් අහන තත්ත්වයකට හිතාමතා තල්ලු කිරීමක් කර ඇතැයි, ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී. මේ අතර නොගැළපෙන වයස් කාණ්ඩවලට විවිධ ස්ථානවලදී ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කරලා ඇතැයි, පැවසූ වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රශ්න කර සිටින්නේ, අවුරුදු 20 - 30 අතර වයස් කාණ්ඩයේ සිටින ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ෆයිසර් එන්නත ලබාදීම තීරණ තාක්ෂණික කාරණයක් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටී.
''උදාහරණයක් විදිහට අවුරුදු 20 - 30 අතර වයස් කාණ්ඩයේ සිටින ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ෆයිසර් එන්නත ලබාදීම සිදු කරන්න කියලා ඒ පණිවිඩය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක කොහොමද තාක්ෂණික කාරණයක් වුණේ. එතකොට ඒගොල්ලොන්ට ඇයි ෆයිසර් එන්නත ම ලබා දෙන්නට ඕනේ ? ෆයිසර් එන්නත ලබා දෙනවා නං ඇයි හම්බන්තොට දිස්ත්‍රික්කයට ම ලබා දෙන්නේ''
එම සංගමය අවධාරණය කර සිටින්නේ මෙවැනි කාරණා සඳහා ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම සෞඛ්‍ය බලධාරීන් රටට හෙළි කළ යුතුව ඇති බවයි.