දැය දිනවන වැඩපිළිවෙළකට අවතීර්ණය වීමට සූදානමින් සිටින්න... හිටපු ජනපති ශ්‍රී ලනිප සමුළුව අමතමින් කියයි

by Staff writer 02-09-2021 | 10:51 PM

COLOMBO (NEWS1ST) : ගෝලීය දේශපාලන ප්‍රවණතා ආදිය සමග මනා අනුසංධානයකින් යුතුව නිර්මාණය වන ජාතික සංවර්ධන දැක්මක් සමග සංවර්ධන කටයුතු සඳහා වූ ජාතික එකඟතාවක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙළක් හා මෙහෙයුම් ක්‍රමවේදයක් සහිතව සමකාලීන සියලු බලවේග සමගින් දැය දිනවන වැඩපිළිවෙළකට අවතීර්ණය වීමට සූදානමින් සිටින්නැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදට යෙදී ඇති 70 වන සංවත්සර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70 වැනි සංවත්සර සමුළුව පැවැත්වුණේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.
හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, දශක කිහිපයක් ඉදිරිගාමී ජාතික සංවර්ධන දැක්මක් වෙත ජාතිය මෙහෙයවීම සඳහා පක්ෂය මනා සංයමයකින්, විනිවිධභාවයකින් පුළුල් සහභාගීත්වයික් යුක්තව නවීකරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි. ''පසුගිය මාර්තු අගදී මාතලේදී පැවැත්වූ දෙදින ක්‍රමෝපායික සැලසුම්කරණ වැඩමුළුව පදනම් කරගනිමින් අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව දේශපාලන මණ්ඩලය ,පාර්ලිමේන්තු කණ්ඩායම, සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව ආදි දිස්ත්‍රික් ප්‍රාදේශීය බල මණ්ඩල ග්‍රාමීය ශාඛා අනුබද්ධ සංවිධාන පක්ෂ සංවිධාන ජාලය ඉදිරි ක්‍රියාන්විතය සඳහා විධිමත්ව සංවිධානය කිරීම කරනවා. මාතලේ ඓතිහාසික ප්‍රකාශය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදය පෝෂණය කිරීම පක්ෂයේ සම්පත් පදනම ශක්තිමක් කිරීම ශ්‍රී ලාංකිය දේශපාලනය සඳහා නව ආචර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම හා ඒ ඔස්සෙ රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය මැතිවරණ ජයග්‍රහණය අත්පත් කර ගැනීම යන ප්‍රධාන තේමාමාත්මක දිශානතීන් ඔස්සේ සමස්ත පක්ෂයම පුළුල් යාවත්කාලීන කිරීමකට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා''
අභියෝග අවලාද නින්දා අපහාස මඩ ගැසීම් තාවකාලික පසුබෑම් ආදිය ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු කරුණු බව ද හිටපු ජනාධිපතිවරයා සමුළුව අමතමින් සිදු කළ ප්‍රකාශයේදී වැඩිදුරටත් පැවසී ය. එස්.ඩබ්ලිව් .ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.