COLOMBO (News 1st) - කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ඊයේ(01) දිනයේදී පුද්ගලයින් 3,584කට ලබා දී ඇති අතර පුද්ගලයින් දහතුන් ලක්ෂ 89,750 කට මේ වනවිට කොවිෂිල්ඩ් පළමු මාත්‍රාව ලබා දී තිබේ.
සයිනෝෆාම් පළමු මාත්‍රාව ඊයේ(01) දිනයේදී පුද්ගලයින් 58,180 කට ලබා දී ඇති අතර ඒ සමග 99 ලක්ෂ 37161 කට එහි පළමු මාත්‍රාව මේ වනවිට ලබා දී ඇත.
සයිනෝෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනයේ ලබා දුන් සංඛ්‍යාව හාරලක්ෂ 949 කි.
ඒ අනුව එම එන්නතේ දෙවන මාත්‍රාව දුන් මුළු සංඛ්‍යාව 67 ලක්ෂ 98514 කි.
තුන්වෙනි මාත්‍රාවක් ලබා දෙනවා ද?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
ඒක විද්‍යානුකූලව සාධක සහිතව ඒක ක්‍රියාත්මක කිරීමට අපේ විද්වත් කමිටුවක් තියෙනවා. ඒ කමිටුව මේ තොරතුරු සමාලෝචනය කරනවා. ඒ ලබාගන්නා තොරතුරු අනුව ඒ විද්වත් කමිටුව නිර්දේශ මත තමයි අපි ඒක ආරම්භ කරන්න වෙන්නේ. ඒ ආකාරයකට දිය යුතු නම් කවදාද දෙන්න ඕනේ, පළවෙනි මාත්‍රාවෙන් කී වෙනි සතියේ හෝ මාස කීයකට පස්සේද දෙන්න ඕනේ ඒ කාටද දෙන්න ඕනේ කියන එක පිළිබඳව නිර්දේශ කමිටුවෙන් ලැබුණාම අපි ඒක ක්‍රියාත්මක කිරීමට ගැටලුවක් වන්නේ නෑ. මොකද අපිට එහෙම වුණොත් අවශ්‍ය වන්නේ මිල මුදල් සහ එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලිය තමා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
තුන්වෙනි මාත්‍රාව පිළිබඳව අපගේ අවධානය යොමු වෙලා තියෙනවා. දැනට කොහොමත් එන්නත් අරගෙන මාස 6 ක් 7 ක් කාටවත් ගතවෙලා නෑ මාත්‍රා 2 ම අරගෙන. ඒක නිසා මේ වනතුරු අපි 3 වැනි මාත්‍රාවක් ලබාදීම පිළිබඳව ස්ථීර නිගමනයකට ඇවිල්ලා නෑ. නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍යය අනුමැතිය අරගෙන තියෙනවා.