අවිශ්ක 19න් පහළ ක්‍රිකට් පිලේ පුහුණුකරු ධුරයට..

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට: මහින්ද හලන්ගොඩ කණ්ඩායමේ කළමනාකරු ධුරයට

by Chathuranga Rajapaksha 02-09-2021 | 5:44 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, අවිශ්කගේ පත්වීම 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවය. අයි.සී.සී. III වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වූ අවිශ්ක ගුණවර්ධන, මීට පෙරත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ධුරය හොබවා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සහ ‘නැගී එන කණ්ඩායමේ’ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. ජාත්‍යන්තර සංචාර කිහිපයකදීම අවිශ්ක ජාතික කණ්ඩායමේ ‘පිතිකරණ පුහුණුකරු’ ලෙස ද කටයුතු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස මහින්ද හලන්ගොඩ මහතා පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 2022 ICC 19න් පහළ ලෝක කුසලානය අවසන් වනතුරු ඔහුගේ පත්වීම බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.