දිනේෂ්ගේ රන් පදක්කම් ජයග්‍රහණයේ රහස..

2016 පැරාලිම්පික් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරාම මම අධිෂ්ඨාන කර ගත්තා, ලෝක වාර්තාවක් සමග රන් පදක්කම මගේ නමට ලියාගන්නවා කියලා.. - දිනේෂ් ප්‍රියන්ත

by Staff writer 01-09-2021 | 10:08 PM

COLOMBO (News 1st) - පුහුණුවීම් සහ කැපවීම් තුළින් තම අරමුණ කරා ළඟා වූ බව පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් පවසයි.

ජපානයේ සිට අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේ ය. පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩක, දිනේෂ් ප්‍රියන්ත හේරත්,
මම 2016 සිට තමයි ජයග්‍රහණවලට පෙළඹුණේ. ඉන්පසු මම 2016 පැරාලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කෙරුවායින් පස්සේ මම හිතේ අධිෂ්ඨානයක් කර ගත්තා කවදාහරි මගේ නමට රන් පදක්කම හා ලෝක වාර්තාව මගේ නමට ලියා ගන්නවා කියලා. ඒ වගේම අවුරුදු 5ක කාලයක් ඇතුළත මම ලෝක වාර්තාවට හිමිකම් කී ඉන්දියන් ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව අබිබවා ගොස් මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වලා මගේ නමට ලෝක වාර්තාව ලියා ගත්තා. තමන් ජයග්‍රහණයක් කරනවා නම් කැපවීම් කරන්න ඕනේ. හොඳට පුහුණුවීම් කටයුතු කරන්න ඕනේ. ඔය දෙක හරියට කර ගත්තා නම් තමුන්ට ජයග්‍රහණයට යන්න පුළුවන්.
මේ අතර 2021 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව් ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් ද මෙහිදී අදහස් දැක්වූවේ ය. පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ක්‍රීඩක,සමිත දුලාන්,
මම මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගයට ඉදිරිපත් වුණේම අනිවාර්යයෙන්ම මම දිනලා යන්නේ කියලා. මම දිනුවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ජාතික පැරා කමිටුව තමයි මාව බලා ගත්තේ. ඒ වගේම යුද හමුදාව, මගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත ගුරු පියාණන්. මගේ දෙමව්පියන්, මගේ බිරිඳ, ක්‍රීඩා අමාත්‍යාංශය සියලු දෙනාම මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනවා.