'නිවැරදි කිරීම කරන්න බැරි තරමට ඩැමේජ් කරලා ඉවරයි'

''නිවැරදි කිරීම කරන්න බැරි තරමට ඩැමේජ් එක කරලා ඉවරයි'' -හිටපු විගණකාධිපති

by Staff writer 01-09-2021 | 11:15 PM

COLOMBO (NEWS1ST) : ඓතිහාසික වටිනාකමක් ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීම තාවකාලිකව නවතා දමා ඇතත් තවමත් බැකෝ යන්ත්‍ර යොදා සිදුකළ හානිය යථා තත්ත්වයට පත්කර නොමැත.

1978 නොවැම්බර් මාසයේ ඇතිවූ සුළි කුණාටුවකින් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට බරපතළ හානි සිදුවී තිබිණ. ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට සඳහා ගල් ඉවත්කර හානි සිදුකර තිබුණේ, සුළි කුණාටුවෙන් පසුව පිළිසකර කර තිබූ වැව් බැම්මට හා රල පනාවටයි. 1978 සුළි කුණාටුවෙන් හානිවූ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම පිළිසකර කළ අවස්ථාවේ වැඩ පරීක්ෂකවරයෙකු වර්තමානයේ සිදුකර ඇති හානිය පිළිබඳව අදහස් පළ කළේ ය.
''1978 නොවැම්බර් 23 වැනිදා පැයට සැතපුම් 78 ක වේගයෙන් සුළං හැමුව ඒක පාසිකුඩා ඉදන් ආවේ. දරුණු ලෙසට මේ සුළි සුළඟෙන් අපේ වැව් බැම්ම කඩාගෙන ගියා. තව පැය භාගයක් මේ සුළඟ ඇල්ලුව නම් පරාක්‍රම සමුද්‍රයේ සියලු ජල කඳ කඩාගෙන ගිහිල්ලා මුළු පළෛාන්නරුව කඳුරුවෙල ජනතාව විනාස වෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආශිර්වාදයෙන් හුළඟ නතර වුණා. පන්තික බේරලා අන්තිමට කටුසු කොන්ද තරං පමණයි ඉතුරු වුණේ, මට හරිම වේදනාවක් ඇතුවයි මම කතා කරන්නේ. මට කතා කරන්න අයිතියක් තියෙනවා. මම මගේ ශරීරයෙන් දහඩිය කැප කරලා තියනවා වැව හදන්න. කලහාගල තිබුණ විශාල ගල් ක්‍රමානුකූලව සකස් කරපු බැම්මේ රළ පනාව අසුරන්නට තලපු පස් බැම්මේ අඩියක් ග්‍රවල් ඇතිලුවා. ගල් තට්ටු වශයෙන් යොදා ඒ මත මහා බුල්ඩෝසර් ගල් ලොකු ගල් ඇතිරුවා. ඒවා ඇති ඇතිරුවේ මිනිස්සුන්ගේ අතින් යන්ත්‍ර සූත්‍රවලින් ඕව කරන්න බෑ. පැක් කරේ ගානට ගලේ බර පැත්ත වැවෙයි පතුල් පැත්තට සිටින සේ. මීටර් දෙකක් ගනකම ඇති රළපනාවක් ඕකේ දැම්මා. දවසකට කම්කරුවෝ 1000 ඉක්මවා මේක කරේ ඉතාම අවංක හදවතින්. ඇස්තමේන්තුවෙන් අතරෙන් එකක් වියදම් කරේ නෑ ඉතුරු සියලුම මුදල් ඉතිරි කරල දුන්නා. ගංවතුර මට්ටම දක්වා රළපනාව නොදා ගුණවර්ධන ඉංජිනේරු තුමා සමරසේකර ඉංජිනේරු තුමා සාකච්ඡා කරලා බන්ට් එකේ මුදුන දක්වා ටොප් එකටම ගල් දැම්මා එකට දෙක එන හැඩයට. වැඩ නිම කරපු කාලෙදී දෙවරක් තෝපා වැවෙන් උඩින් ජලය දැම්මා. ඒ වෙලාවෙදිත් වැව් ගමට කිසිම හානියක් වුණේ නෑ. මොලේ කලඳක් නැතුව මෙවැනි තීරණ ගන්නා මිනිසුන්ගේ මනස දියුණු වේවා. විශාල රළ නිකුත් වන නිසා තමයි සමුද්‍රය වන්නේ තෝපාවැව දරුණු රළපනාව කුත් එරබදු වැව ඊට අඩු රළපනාව කුත් දුඹුටුලු වැව ඊටත් අඩු රළපනාව කුත් යෙදෙනවා. දැන් ඉන්න අය මේවා දන්නේ නෑ. මේවා දන්නේ අපි එහේ ජීවත් වෙලා කරපු මිනිස්සු නිසා මේවා දැක්කාම හදවත කම්පා වෙනවා. ඔබතුමාල බලන්න සුළඟ වෙලාවට වැඩේ වැව් බන්ට් එකේ අයිනෙන් යන්න බෑ ඒ තරම් දරුණු සුළගක් තියෙනවා විසිකරනවා. මේ හදන්නේ වැව විනාශ කරන්න''
සුළු කුණාටුවෙන් හානිවූ වැව් බැම්ම පිළිසකර කළ සමයේ වාරි මාර්ග ඉංජිනේරුවරයෙකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද මේ පිළිබඳව දහස් පළ කරමින් පැවසුවේ, රළපනාව ඉවත් කිරීම ප්‍රශ්නයක් ඇති බවත් සිය අදහස වැව් බැමි දිගේ ඇවිදින මංතීරු හැදීම එතරම් නුවනට හුරු ක්‍රියාවක් නොවන බවයි.
''නමුත් තියෙන බැම්ම උඩ යම් කිසි කෙනෙක් ඇවිද්දට ගැටුලුවක් නෑ. ආපදාව පිළිබඳව ඇගයීමක් කරන්න පුළුවන් ක්‍රමයක් නෑ. ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ අපි වැව් බැම්ම තුළ නිදන්ගත කරලා නෑ. මේවා කොත්මලේ, වික්ටෝරියා වගේ තැන්වල ඒ වගේ උපකරණ හයි කරලා තියෙනවා බැම්මේ යම් කිසි වෙනසක් වෙනකොට ඒ බව අපිට මතුපිටින් අපිට බලන්න පුළුවන්. මම හිතනවා හුඟක් හොඳයි මේ බැම්මට හානියක් නොකර ඔය තියෙන හැටියට බැම්ම තබා ගැනීම''
මේ අතර හිටපු විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද (01) පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම නිරීක්ෂණය කරමින් කියා සිටියේ සිදුකර ඇති හානිය බරපතළ බවයි. හිටපු විගණකාධිපතිවරයා පැවසුවේ, වැවේ අරක්ෂාව ගැන දැඩි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බවත් මෙම තීරණය සඳහා යෝජනාව ගෙනා දේශපාලකයා පිළිබඳ හෙළි කිරීම ද අවශ්‍ය බවයි. තව ද නිවැරදි කිරීම සිදු කිරිමට නොහැකි තරමට හානියක් සිදු කර අවසන්බව ද හිටපු විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''වැවට කරන මේ හානිය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම තීරණ ගත්ත මිනිස්සුට ජාතියම එකතු වෙලා සාප කිරීම ‍ඇත්ත වශයෙන්ම පළමුවෙන්ම කරන්න වෙනවා අපි බෞද්ධයෝ වුනත්. හෙට දවසේ වර්ෂාවක් වැස්සොත් එහෙම ඔක්කොම පස් වැවට සෝදගෙන යනවා. ඒ නිසා මේ වාහනයක් නතර කිරීමට පවා පහුගිය කාලේ තහනම් කරලා තිබුනා. මොකද ඒකෙනුත් යම්කිසි තර්ජනයක් වැවට වෙයි කියලා. එහෙම තියෙන බැම්මකට අද කොන්ක්‍රීට් වලවල් හාරලා මේ මං පෙතක් දාන්න සැලසුම් කරනවා. ඉංජිනේරුවා කතා කරපු විදියට මට තේරුනා මැණිකක් තිබිලා වාහනේ පස්සට යයි කියලා රෝදෙ අඩේට තියන ජාතියේ මිනිස්සු''
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
''ජලාශය භාරව වැඩ කළ ඉංජිනේරුවරු වලේම වේලි පිළිබඳ විශේෂඥයින් රාශියක් පහුගිය දවස් දෙකේ මට කතා කළා මාධ්‍ය තුළ මේ කාරණය දැකලා. ඒගොල්ලන් කරුණු රාශියක් ඉදිරිපත් කරනවා මේ කාර්ය කිරීම සුදුසු නෑ කියන එකට. ඉංජිනේරුවරු කියන කාරණයක් තමයි විශාල මැෂින යොදලා ඒ මැෂින් වලින් මේ යට වෙලා තියෙන ගල් ගලවනකොට මූලික වශයෙන් දෙදරීමක් ඇති වෙනවා ලු ඒ දෙදරීම බලපානවා වැව් බන්ට් එකට කියන එක.ඒ දෙදරීම තුළ බන්ට් එකට හානි වීමට ඉඩ කඩ තියෙනවා කියන එක. අනිත් එක තමයි මේ පිළිබඳව ප්‍රශ්නයේදි තාක්ෂණික වශයෙන් පාරිසරික, විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක වශයෙන් ඒ සියලු අංශ වල විශේෂඥයින් මේ සම්බන්ධයෙන් දරන මතය තමයි මෙය කිරීම සුදුදු නෑ කියන එක. මේ සම්බන්ධ නිපුනතාව තියෙන අයගේ අදහස්වලට අප ගරු කළ යුතු වෙනවා ඒක තමයි අවශ්‍ය වෙන්නේ''