by Staff writer 01-09-2021 | 9:38 PM
COLOMBO (News 1st) - චීන - ශ්‍රී ලංකා මහ බැංකු අතර ඇතිකර ගැනීමට යෝජිත අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුව හෙවත් ස්වොප් පහසුකමට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ පිළිබඳ කාරුණික අවධානය යොමු කරන ලෙස චීන පාර්ලිමේන්තුවේ කතානායක ලී ෂන්සු මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
චීන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31) විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත් විය.
ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඇඟලුම්, තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළෙඳපොළට පිවිසීම සඳහා පහසුකම් පුළුල් කර දෙන ලෙස ද මෙම සාකච්ඡාවේදී ඉල්ලීමක් කර තිබේ.
චීන පාර්ලිමේන්තුවේ කතානායකවරයා එහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බවය.
මේ අතර චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටුවීම සඳහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව ද මෙහිදී මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.