කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතා අභාවප්‍රාප්ත වෙයි

අතීත වාරි තාක්ෂණ විශේෂඥ, ප්‍රවීණ ලේඛක කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 01-09-2021 | 9:25 PM

COLOMBO (NEWS1ST) :  හෙළ වාරි තාක්ෂණය, බෞද්ධ ඉතිහාස හා දේශපාලනය පිළිබඳව අසමසම දැනුම් සම්භාරයක් සහිත වටිනා ශ්‍රී ලාංකිකයෙකු දැයෙන් සමුගෙන තිබේ.

ඔහු, රටේ උන්නතිය වෙනුවෙන් හැකි සැම විටම කැප වී ක්‍රියා කළ, කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතායි. අභාවප්‍රාප්ත වන විට ශ්‍රී ප්‍රනන්ද මහතා 76 වැනි වියේ පසුවිය. නම කියූ සැණින් කෂේත්‍රයේ සියල්ලන් හඳුනන ප්‍රකට විද්වතෙකු වූ කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතා, ශ්‍රී ලංකාවේ සිටි, අතීත වාරි තාක්ෂණ විශේෂඥයෙකි. 1944 නොවැම්බර් දෙවැනිදා උපන් ඔහු මූලික අධ්‍යාපනය ලැබූවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ප්‍රනන්ද මහතා ඉතිහාසඥයෙකු, සිංහල ප්‍රාඥයෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු ද ලෙස තමා සතු මාහැගි දැනුම සියල්ලන්ට බෙදා දීමට නොපසුබටව ක්‍රියා කළේ ය. ජාතික උරුමය සුරැකීම සහ දැයේ උන්නතිය වෙනුවෙන් තම අදහස් නොපැකිලව ප්‍රකාශ කළ ශ්‍රී ප්‍රනන්ද මහතා, නිරන්තරයෙන් අවධාරණය කළේ, වැව් ජල ශිෂ්ටාචාරයක් සහිත එකම රාජ්‍යය ශ්‍රී ලංකාව බවයි. ඔහු ගම්මැද්ද සමග එක්ව ගමින් ගමට වැවෙන් වැවට ජාතික ක්‍රියාන්විතය සඳහා සිය දායකත්වය ලබා දුන්නේ ය. 2017-12-17 වනදා පලුගස්වැව බෙල්ලන්කඩවල වැව් ඉස්මත්තේදී ගමින් ගමට වැවෙන් වැවට ජාතික වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ ප්‍රනන්ද මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''ජලය තමන්ගේ රාජ්‍යත්වයට වඩා වටිනවා කියලා සලකපු පාලකයෝ හිටිය රටක් මේක. වැව් ජල ශිෂ්ටාචාරයක් තියන එකම රට ශ්‍රී ලංකාව විතරයි. වෙන කොහේවත් වැව් ජල ශිෂ්ටාචාරයක් නෑ. වැව කියන්නේ මොකද්ද ? වැව කියන්නේ වැවීමට උපකාරී වන නිසා වැව.හැබැයි වවන්නේ මොනවාද ? මේ බත විතරක් නෙවෙයි. මුළු මහත් ජීවිතයම වගා කරන්නේ වැවත් එක්ක. වගා කළේ වැවත් එක්ක''
අතීත උරුමය කාලයේ වැලි තලාවෙන් වැසී යනු නොදී, වත්මන් පරපුර අවදි කරමින් ජාතික මෙහෙවරක නිරත වූ කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්දයෙනි, ඔබ, ශ්‍රී ලංකාවට සදාතනික මතකයක් වනු ඇත.