ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය – ශ්‍රී ලංකාව

ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය – ශ්‍රී ලංකාව

ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය – ශ්‍රී ලංකාව

කර්තෘ Chevaan Daniel

01 Sep, 2021 | 7:30 pm

තවමත් ජනතාවට සේවය සලසන, වසර දහස් ගණන් පැරණි තිරසර පද්ධතියක් මෙන්ම, ලොව විශිෂ්ටතම ශිෂ්ටාචාර කිහිපයෙන් එකක් වන ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ජල සහ පාංශු සංරක්ෂණය පිළිබඳ පෞරාණික දර්ශනය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලාංකේය ජල උරුමය අවබෝධ කර ගැනීම, අනිවාර්ය අවශ්‍යතාවකි.

ශ්‍රී ලාංකේය ශ්‍රේෂ්ඨ නරපතියකු වන මහා පරාක්‍රමබාහු රජතුමන් ( 1153 – 1186 ) කරන ලද මහාවංශයේ සඳහන් ප්‍රකාශයක් දෝෂ සහිතව උපුටා දැක්වීම හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ වැරදි වැටහීමක් සිදුව තිබේ. ඒ උපුටා දැක්වීම අනුව රජතුමන් ප්‍රකාශ කර තිබෙන්නේ,

අහසින් වැටෙන එක ජල බිඳක් හෝ මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතුබවයි.

එහෙත්, මේ විශිෂ්ට රජු මිනිසායන්න කිසිදු අවස්ථාවක සඳහන් කර නැත. එම උපුටනය , අහසින් වැටෙන එක් ජල බිඳක් හෝ සමස්ත මිහිතලයට ප්‍රතිලාභයක් අත්නොවන පරිදි යළි යළිත් ප්‍රයෝජනයට නොගෙන සාගරයට එක් නොකළ පරාක්‍රමබාහු රාජධානියේ ක්‍රියාකලාපයට අභියෝග කිරීමක් සේ දිස්වෙයි.

ප්‍රයෝජනයට ගැනීම යන සිංහල වචනයෙහි පාලි අර්ථ නිරූපණය“ලෝකෝපකාරයෙන් යන්නයි.

මේ බලවත් වචනය තුළ ශ්‍රී ලංකාවේ පෞරාණික ජල උරුමය පිළිබඳ දර්ශනයේ හරය මුළුමනින්ම ගැබ්ව තිබේ. එනම් හුදෙකලාව මිනිසාට ප්‍රමණක් ප්‍රතිලාභ අත්කර දෙනු වෙනුවට මානවයාද කොටසක් පමණක් වන පරිසරය සංරක්ෂණය කිරීම උදෙසා එම දර්ශනය නිර්මාණය කර තිබේ. බටහිර ජාතීන් තිරසර බවෙහි වැදගත්කම අවබෝධ කරගැනීම සඳහා ප්‍රමාද වී අවදි වෙද්දී වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැගුණේ තිරසර බව පදනම් කරගෙනය.

පරාක්‍රම සමුද්‍රය (ඡායාරූපය - සංජීව එදිරිසිංහ)

පරාක්‍රම සමුද්‍රය (ඡායාරූපය – සංජීව එදිරිසිංහ)

අප නිවැරදි කරගත යුතු දුර්මතයක් වන්නේ අපගේ ජල උරුමය නිරන්තරයෙන්ම වාරිමාර්ග පද්ධතීන්ට පමණක් ලඝු කිරීමයි. වාරිමාර්ග පද්ධතියක් යනු ජලය අප්‍රාණික සක්‍රීය දෙයක් ලෙස සලකනු ලබන ජල ඉංජිනේරුවන්ගේ ක්‍රියාවකි. එහෙත් සංරක්ෂකයින්ගේ සහ ගොවීන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල ජලය සප්‍රාණිකයි. ජල සම්පත පිළිබඳ අවබෝධයේ පවතින මේ පරස්පරතාව විශේෂයෙන් වර්තමානයේදී විනාශකාරී තත්ත්වයන්ට මග පාදා ඇත. වාරිමාර්ග සැලසුම්කරුවන් සහ ඉංජිනේරුවන් අත්‍යාවශ්‍යයෙන්ම සලකා බලනුයේ ජලය A සිට B දක්වා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි අයුරින් ගෙනයන්නේ කෙසේද යන්නයි. එහෙත් අප පෞරාණික සංරක්ෂකයින්ගේ නැමි සහිත ක්‍රියාවලිය තුළින් අවධානයට ලක් කෙරුණේ

1- පාංශු පෝෂණය

2- පෙරීමේ ක්‍රියාවලිය

3- වන ජීවීන්ගේ සහ වනාන්තර වල තිරසර පැවැත්ම

4- ජලය ප්‍රතිචක්‍රිකරණයේ සහ හානිපූරණය කර ගැනීමේ

වැදගත්කම යන කරුණුය.

ලොව එදා මෙදා තුර නිර්මාණය කෙරුණු අපූර්වතම ජල කළමනාකරණ ක්‍රියාවලියට මග පෑදූ ප්‍රවේශය වන්නේ එයයි.

මහා පරිමාණ සහ කුඩා වැව්, ගංගා හරස් කිරීම්, ජලය ගබඩා කිරීමේ පද්ධති සහ එකිනෙකට සම්බන්ධ වූ ඇළ මාර්ග ශ්‍රී ලංකාවේ පෞරාණික ජල පද්ධතියට ඇතුළත්. මේ අතුරින් ජල ශිෂ්ටාචාරයක් ලෙස අපගේ අතීත බලය ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රසිද්ධ ඉතිහාසය තුළ බොහෝ විට සාක්ෂි සපයනුයේ මහා ජලාශ පමණකි. වැව් සහ ඒවා ඉදි කළ රජවරුන් පිළිබඳව සඳහන් නොවන දේශපාලන කතාවක් හෝ දේශාභිමානී ගීතයක් සොයා ගැනීම ඉතා දුෂ්කර වීම ඊට කදිම උදාහරණයකි. නමුත් මේ ජල උරුමයේ අන්තර්ගතය හඳුනාගැනීම ඊට හාත්පසින්ම වෙනස් වූ අභ්‍යාසයකි. එය ගෝලීය ශිෂ්ටාචාරයන්ට සමාන්තරව ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය හඳුනාගැනීම පමණක්ම නොව අපගේ භූගෝලීය තත්ත්වයන් සහ කාලගුණික රටා ආදී පුළුල් පරාසයක් පිළිබඳ අධ්‍යයනයකි.

වාරිමාර්ග සහ ජල සංචිත කළමනාකරණය ජල කළමනාකරණයේ ප්‍රධාන අංග වුවත්, ගංවතුර පාලනය, කාණු පද්ධති මෙන්ම ජලය, පස සහ ජෛව ස්කන්ධය සංරක්ෂණය කිරීමද ජල කළමනාකරණයේදී එක සේ වැදගත් වෙයි. මේවා සාක්ෂාත් කරගැනීම සඳහා අතීත නිමැවුම්කරුවන්ගේ නිර්මාණ අදටද සුවිශේෂී ඒවා ලෙස සැලකිය හැකිය. 4 වැනි සියවසේදී මහසෙන් රජතුමන් විසින් ඉදිකරවන ලද මින්නේරිය වැව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සොයාගන්නා ලද අවස්ථාවේ මතු කරගන්නා ලද වැව් බැම්ම කිසිදු හානියකින් තොරව පූර්ණ ක්‍රියාකාරී මට්ටමේ පැවතීම ඊට කදිම උදාහරණයකි.ශතවර්ෂ 15 ක් මුළුල්ලේ එම පද්ධතිය ක්‍රියාකාරී මට්ටමේ පැවති අතර තවමත් එලෙසම පවතී. මට මෙවන් තිරසර සඵලත්වක් පෙන්නුම් කරන වෙනත් කිසිවක් පිලිළිබඳ සාක්ෂියක් ලොව කුමන ප්‍රදේශයකින් හෝ ගෙනහැර දැක්වීම පිළිබඳව සිතාගත නොහැකිය. ශ්‍රී ලාංකීය ජල උරුමය ශක්තියක් ලෙස අර්ථනිරූපණය වුවද එහි සවිමත් බවට සහ දෘඩ බවට වඩා සොබා දහම සමග කල් පවත්නා සංහිඳියාවක් වෙනුවෙන් ගොඩනැගුණු දර්ශනය මත පදනම් වූ සීමා මායිම් නැති ඒකීයත්වය ප්‍රමුඛත්වයේ ලා ගෙනහැර දැක්විය හැකිය.

නවීන වාරිමාර්ග චින්තනය සහ අපේ පෞරාණික තිරසර ව්‍යුහය අතර ප්‍රධාන පරස්පරතාව එයයි.

කණ්ඩලම වැව (ඡායාරූපය - සංජීව එදිරිසිංහ)

කණ්ඩලම වැව (ඡායාරූපය – සංජීව එදිරිසිංහ)

  • එල්ලංගාව කුඩා වැව් පොකුර, ලෝක පුදුමයක්

ක්‍රිස්තු පූර්ව 543 විජයාවතරණයට පෙර සිට පවතින ඓතිහාසික වාර්තා අනුව දිවයිනෙන් හතරෙන් තුන් පංගුවකට පමණ වාර්ෂිකව බලපාන දීර්ඝකාලීන නියගයට විසඳුම් වශයෙන් ඉපැරණි ශ්‍රී ලාංකිකයා සතුව ජල සංරක්ෂණයට සහ ගංගා ආශ්‍රිත ඇළවේලි තාක්ෂණය ගොඩනැංවීමේ කලාවක් පැවති බවට සාක්ෂි සපයයි.

බහුකාර්ය ව්‍යාපෘතීන්ට මුල්වූ අවශ්‍යතාව හමුවේ ගංගා ද්‍රෝණි සංවර්ධනය, ගංගා ජලය ගබඩා කර ගැනීම, ජල නියාමනය, වාරි කර්මාන්තය, ගංවතුර පාලනය, ජලපරිවහනය සහ ධීවර කර්මාන්තය වැනි කටයුතු සඳහා ක්‍රි.. 5 වන සියවස පමණ වන තෙක් අපේ මුතුන් මිත්තන් සතුව සුවිශේෂී කුසලතා පැවතුණි. ශ්‍රී ලංකාව සිය වැව් ශිෂ්ඨාචාරයේ කූට ප්‍රාප්තියට පත්වීම ලෙස එය හැඳින්විය හැකි අතර ආසන්න වශයෙන් මාතෘ භූමියේ සෑම වර්ග සැතපුම් දෙකකටම එකක් ‍ලෙස දිවයින පුරා මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් 12,000 කට වැඩි ප්‍රමාණයක් හමුවීම ඊට නිදසුන් සපයයි. ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ වාරි ක්‍රියාකාරකම් ලොව අන් කිසිදු ශිෂ්ටාචාරයකට සම කළ නොහැකි බවද සඳහන් කළ යුතුමය. අතීත රජදරුවන් සිය දුරදක්නා නුවණින් සහ ප්‍රඥාවෙන් යුතුව නිම කරන ලද සුවිශේෂී නිර්මාණ නටබුන් ඇසුරින් අගයන වත්මන් පාලකයින් ලැජ්ජාවට පත් වනු නොඅනුමානයි.

  • සැබවින්ම එල්ලංගාවක් යනු කුමක්ද?

මෙය සරල කිරීමේ කිිසිදු මාර්ගයක් නොමැති වුවත් මම ඒ සඳහා උත්සාහ ගන්නෙමි. වියළි කලාපයේ සුවිශේෂී භූගෝලීය තත්ත්වය සැලකිල්ලට ගනිමු. භූමියේ උස් පහත් දර්ශනය අර්ථගන්වනුයේ ස්වභාවිකවම වැසි ජලය ගලාගොස් නිශ්චිත ප්‍රදේශවල එක්රැස් වන බවයි. අපේ මුතුන් මිත්තන් මේ ස්වභාවික ක්‍රියාවලිය කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනය කොට මේ ස්වභාවික ක්‍රියාවලිය ව්‍යුහගත කිරීම තුළින් සිය ගොවිතැනට අඛණ්ඩ ජල සැපයුමක් සහතික කර ගැනීම සඳහා සිත යොමු කළහ. එසේනම් ඔවුන් කළේ කුමක්ද? ජලය ස්වභාවිකව ගලාගෙනවිත් එක්රැස්වන ප්‍රදේශවල ජලය රැඳී පවතින පරිදි ඔවුන් විසින් බාධක ඉදි කරන්නට යෙදුණි. මේ ජලය පුරවන ලද වැව් ඉන් අනතුරුව ඇළ මාර්ග හෝ ඇතැම් විට නළ මාර්ග මගින් එකිනෙක සම්බන්ධ කරමින් වාරි ඒකකයක් සේ ක්‍රියා කර අවට බිම් පෝෂණය සඳහා යොදා ගැනුණි. මෙහිදී ඇතැම් විට වැව් තුනේ සිට 30 ක් පමණ දක්වා අන්තර් සම්බන්ධතා නිර්මාණය කර තිබේ. මේ පද්ධති වටා පුරාණ ගම්මාන බිහි වූ අතර අපේ සංස්කෘතියද නිර්මාණය විය.

අවාසනාවකට මෙන් අද දවසේ වැව සංකේතවක් කරනුයේ ජලාශයකි. ගෝලීය සාම ප්‍රතිපත්තිය සඳහා වැවක ශිෂ්ඨාචාර මූලධර්ම පිළිබඳ ලිපියක් සකස් කරන ඉංජිනේරු එස්. කේ. සූරියාරච්චි මහතා සංකල්පාත්මකව වැවක් මෙසේ අර්ථ නිරූපණය කරයි.

එයම පරිසර පද්ධතියකි. හුදෙකලා ජලාශයක් හෝ ජලාශ කීපයක් එකිනෙක සම්බන්ධවී ඇති පරිසර පද්ධතියක් පමණක්ම නොව ජල පෝෂක ආශ්‍රිත ජලාශ වලින් සමන්විත ගොවිතැනට මෙන්ම මිනිසාගේ සහ අනෙකුත් සත්ත්වයින්ගේ යහ පැවැත්ම සහතික කරන පස සහ භූගත ජල මට්ටම සංරක්ෂණය කෙරෙන ප්‍රසන්න වටපිටාවකි.“

ශ්‍රී ලාංකීය වැව සහ වාරි ඇළ පද්ධති තාක්ෂණික විස්මයකි.

වැවක් බැදීමේදී අපේ මුතුන් මිත්තන්ට මුහුණ පෑමට සිදුවූ පළමු ප්‍රශ්නය වූයේ ප්‍රදේශයේ භූ විමතාවයි. භූමිය තෝරාගත් ඔවුන් මැටි යොදා ගනිමින් නියමිත හිස්තැන් පුරවන්නට ක්‍රියා කළා.

වඩා වැදගත් කරුණ නම් අතීත ඉංජිනේරුවන් අප සිතන පරිදි එක්වරම ජලාශය නිර්මාණය කර අවසන් නොකිරීමයි. ඔවුන් ඒ වෙනුවට විචක්ෂණ ලෙස කළේ නිවැරදි ප්‍රදේශ සම්බන්ධ කිරීමයි. ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශ වැව් හැදූ රාජ්‍යය ලෙසින් නොව වැව් බැඳි රාජ්‍යය ලෙසින් හඳුන්වනුයේ මේ නිසාවෙනි. නොසලකා හැරිය හැකි වෙනස් කම් ඇතත් දර්ශනයට හා ජල කළමනාකරණයට ප්‍රවේශ වීමේදී එය වැදගත් වෙයි.

සෑම දෙයක්ම තිරසර බව සහ සංරක්ෂණය උදෙසාය. සියළු වැව් එක හා සමාන නොවේ. විවිධ කාර්යයන් සඳහා විවිධ වැව් තිබුණි.

කුඩාම සහ පැරණිතම වැව කොටු වැව ලෙසින් හැදින්විනි. එය අක්කර 2 -3 ක් පමණ විශාල වූවකි. කුළු වැව විශාල ජලාශ සඳහා අමතර ජලය ගබඩා කරගනිමින් වෙනස් කාර්යභාරයක් ඉටුකරයි. වාරි මාර්ග කටයුතු සඳහා යොදා නොගන්නා නිසා වාන් දොරටු නොවීම එහි විශේෂත්වයකි. කාන්දු වීමේ පද්ධතියක් තුළින් මහවැව් පෝෂණය කිරීම හේතුවෙන් උල්පත් වැව් ලෙසින්ද කුළු වැව් හැඳින්විනි.

මහ වැව අක්කර 10 කට වඩා වැඩි භූමි භාගයක් පුරා ව්‍යාප්ත වූවකි. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසින් පමණ පසුව ජනගහනය ඉහළ යාමත් , කෘෂිකර්මාන්තයේ ව්‍යාප්තියත් සමග නිර්මාණය වූවකි. සමුද්‍ර වැව විශාලතම වැව වන අතර සාගරයක් සේ දිස්වෙයි. පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා මෙහි නිර්මාතෘවරයා වේ.

 

පරාක්‍රම සමුද්‍රය

පරාක්‍රම සමුද්‍රය

මීට අමතරව අප ජල උරුමය ආශ්‍රිත තවත් නිර්මාණ බොහෝය. ඒ සෑම එකකටම නිශ්චිත කෘත්‍යයක් වෙයි. සෑම වැවක්ම සොරොව්ව වැනි සුවිශේෂී උපාංග වලින් සමන්විතයි. (මේවා විවිධ ක්‍රියා සඳහා විවිධාකාරයෙන් නිර්මාණය කර තිබීමට හැකිය) බිසෝකොටුව, කට්ටකාඩුව, වැව් බැම්ම සහ රළපනාව ආදී වශයෙනි.

මේ සෑම උපාංගයක්ම රාජකාරි ක්‍රමය යටතේ ගම්මුන් විසින් රැක බලාගනු ලබයි. වනාන්තර අභ්‍යන්තරයේ සතුන් සඳහා පවා වැව් නිර්මාණය කර තිබෙන අතර මේවා මානව ජනාවාස කරා අලින් පැමිණීම හෙවත් අලින් ගම්වැදීම වැළැක්වීමේ උපායමාර්ග ලෙස හැඳින්විය හැකිය. මේ වැව් මානව ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම නීති විරෝධී කටයුත්තක් ලෙසින් සලකනු ලැබ තිබේ.

මා පහතින් විස්තර කරනුයේ මහාචාර්ය චන්දන විතානාච්චි මහතාගේ පර්යේෂණයකින් උපුටා ගන්නා ලද, එක් එක් වැවෙහි භාවිත කෙරුණු සුවිශේෂී තාක්ෂණික නිමැවුම් කිහිපයකි.

  • වැව් බැම්ම

මෙහි ප්‍රධාන කාර්යය ජලය එක් ස්ථානයක රඳවා තබා ගැනීමයි. එනම් වැව තුළ ගබඩා කර ඇති ජලය ඝන මීටර් දහස් ගණනකින් ජනනය වන දැවැන්ත පීඩනය අවශෝෂණය කරගත හැකි පරිදි එය ඉදි කළ යුතු බව ඉන් අදහස් කෙරෙයි. සංචිත අවශ්‍යතාවට උචිත පරිදි බැම්මේ දිග පළල ගණනය කිරීම සඳහා අතීත ජල ඉංජිනේරුවන්ට සංකීර්ණ ගණිත දැනුමක් පවා පැවති බව පැහැදිලිය.

  • සොරොව්ව

අවශ්‍ය කාලයට අවශ්‍ය ප්‍රමාණයෙන් කුඹුරු සඳහා ජලය මුදාහැරීම මෙහි කාර්ය භාරයයි. මෙහි පාලන යාන්ත්‍රණය සුවිශේෂී නිර්මාණයකි. මෙහි වඩාත් වැඩිදියුණු කරන ලද යාන්ත්‍රණය බිසෝකොටුව තුළ ක්‍රියාත්මක වුණි. එය ගලින් කරන ලද මෙවලමක් වන අතර ජලය මුදාහැරීමේදී ඇති වන අධික පීඩනය හමුවේ වාරි ඇළ, වැව් බැම්ම සහ දොරටු ඇත්නම් ඒවා ආරක්ෂා කිරීම මෙහි කාර්යභාරයයි. මෙය ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන අතර තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී මේ නිමැවුම හමුවෙයි. මාගේ අදහස වනුයේ ගඩොල් ආවරණයක් සහිත මාදුරු ඔය සොරොව්ව වඩාත් ආකර්ෂණීය බවයි. මෙහි පොළව යට පිහිටි කුටීරය පසට කාන්දු වන ජලය පාලනය කිරීමෙන් සමස්ත සොරොව්වට හුස්මක් ගැනීමට ඉඩ සැලසීම තුළින් වැවේ සිට ක්ෂේත්‍රයට ජලය ගමන් කරන සොරොව් කුටීරය මුළුමනින්ම ආරක්ෂා කරයි. මා මෙහි සඳහන් නොකළද තවත් විවිධ ආකාරයේ සොරොව් හමුවෙයි. නමුත් සොරොව් තාක්ෂණය යනු හුදෙකලාව සටහන් කරනවාට වඩා නිබන්ධනයක් රචනා කිරීමට තරම් වැදගත් වූවකි.

  • ඇළ මාර්ග

අපූර්වතම පෞරාණික නිමැවුම් අතරට ශ්‍රී ලංකාවේ ඇළ මාර්ගද ඇතුළත් වෙයි. ඇළ මාර්ගයක ප්‍රධනතම කාර්යභාරය වනුයේ සොරොව්වේ සිට ක්ෂේත්‍රය වෙත ජලය රැගෙන යාමයි. කලා වැවේ සිට අනුරාධපුරයේ පිහිටි තිසා වැව වෙත ජලය ගෙන යාමට නිර්මාණය කරන ලද ජය ගඟ වැන්නක් සැලකීමේදී සැතපුම් ගණනාවක් දුරට ජලය ගෙන යාම දැක ගත හැකිය.

මෙහි මුල් සැතපුම් 17 සැලසුම් කර නිර්මාණය කර තිබෙන්නේ සැතපුමකට අඟල් 6 ක් තරම් කුඩා බෑවුමක් සහිත විශ්මිත නිර්මාණයක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ බොහොමයක් ඇළ මාර්ග වල අසාමාන්‍ය හැඩය ඒ පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක අවශ්‍යතාව කියාපායි. අසුන්දර “Z – D“ කොංක්‍රීට් ඇළ මාර්ග මෙන් නොව මේවායේ ඒකකාරී ප්‍රවාහය රේඛීය ස්වභාවයක් උසුලයි. පෞරාණික ඇළ මාර්ග නිර්මාණය කර තිබෙන්නේ භූ විෂමතාව අනුව ජල ප්‍රවාහය සිදුවන ආකාරයෙන් එක් පසෙක පමණක් බැම්මක් බැඳීමෙනි. මෙතුළින් අදහස් කෙරෙනුයේ ජලය ගමනාන්තයට රැගෙන යාම පමණක් නොව ඇළ මාර්ගය දෙපස පස පෝෂණය කිරීමද එකසේ වැදගක් බවයි. එම නිසා අතීතයේදී රටපුරා ඇළ මාර්ග දෙපස භූමියට පෝෂණය සැලසුනි. මේ සුවිශේෂී සැලසුමේ ප්‍රතිඵලයක් වශයෙන් උතුරු මැද පළාතේ බොහෝ ඇළ ඉවුරු මත තෙත් කලාපයට ආවේණික ශාක හමුවෙයි.

  • පිටවාන

මෙයද වැවෙහි තවත් වැදගත් අංගයකි. වැවට කිසිදු හානියක් නොවී අතිරික්ත ජලය ක්‍රමානුකූලව ඉවත් කිරීම එහි කාර්යභාරයයි. ප්‍රමාණය අනුව එක් වැවකට පිටවාන් එකකට වැඩි සංඛ්‍යාවක් තිබිය හැකිය. පුරාණ ශ්‍රී ලාංකික වාරි ඉංජිනේරුවරුන් පිටවාන් නිර්මාණය කල ආකාර 3 කි. මුල් ආකාරය භූ විද්‍යාත්මක පාෂාණ රූප විද්‍යාව මත පදනම්ව ප්‍රදේශයක් තෝරා ගැනීමයි. දෙවැන්න භූ විෂමතාව මත පදනම්ව උස් භූමියක් තෝරා ගැනීමයි. තෙවැන්න කෘත්‍රිමව උස් භූමියක් නිර්මාණය වන පරිදි පිටවාන සකස් කිරීමයි.

  • ඉහත්තෑව

මෙය වැවේ ජලයට පෝෂණය සපයන ප්‍රදේශයකි. පුරාණ ගම්මානවල පරිපාලනය අභීත ලෙස ආරක්ෂා කළ වැවට ජලය සපයනු ලබන වනගත පෙදෙසකි. ගම්වැසියනට මේ ප්‍රදේශයේ ඖෂධ සපයා ගැනීමටත් කුඩා සතුන් දඩයම් කිරීමටත් අවසර හිමි විය.

  • ඉස් වැටි

මෙය පොට වැටි ලෙසින්ද හඳුන්වනු ලබයි. මේ කුඩා වක්‍රාකාර පස් වැටිය වැව් තාවුල්ලට බාහිරව ඉදිකරනු ලබයි. මෙය වැවක පිටතින්ම පිහිටි ජල මායිම ලෙසින්ද සැලකේ. මෙය ඉහත්තෑවේ සිට එන ජල ප්‍රවාහය පාලනය කිරීමේ දිය කඩනයක් ලෙසද පෙනී සිටී.

  • ගස් ගොම්මන

මෙය ඉහත්තෑවේ පිහිටි පෝෂක නොවන වන රොදකි. මෙය ජල මූලාශ්‍ර සහ උල්පත් ආරක්ෂා කරන බැවින් වැවක දිගුකාලීන තිරසර පැවැත්මට අතිශය වැදගත් වෙයි. කුඹුක්, පළු, වීර, දඹ වැනි ශාක මේ ප්‍රදේශයේ හුදෙකලාව වැවෙන අතර වැසි සමයේදී , මුල් වැවට ඇදී එන ජලය සඳහා ස්වභාවික පෙරණයක් ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන් ඕනෑම ලවණතාවක් සහිත ජලය පෙරීමට සමත් වෙයි.

  • කට්ටකාඩුව

ශ්‍රී ලංකාවේ වැවෙහි මේ උපාංගයේ වැදගත්කම මට අධිතක්සේරු කළ නොහැක. බැම්මට යාබදව නිර්මාණය කර ඇත. පෝෂණය ලබන පරිසරය සහ වැව් බැම්ම අතර වගුරු බිමක් වැනි බාධකයක් නිර්මාණය කරයි. වැවේ මේ කොටසේදී වැව් බැම්මට යටින් කාන්දු වන ජලය,, මීටර කිහිපයක වන රොදක් හා රොන් මඩ තුළින් යැවීමෙන් පෙරීමට ලක් කෙරෙයි. මේ හේතුවෙන් එම ජලය ක්ෂේත්‍රය වෙත ළඟාවීමේදී දූෂක හෝ අධික ලවණතාව, බැර ලෝහ ආදියෙන් තොර තත්ත්වයට පත්වෙයි. පුරාණ නිර්මාණකරුවන් මේ ප්‍රදේශය ඖෂධීය ශාක වගාකිරීම සඳහා යොදා ගන්නා ලදී. කට්ටකාඩුවේ ඇති ජලය එහි ක්‍රියාකාරීත්වයට සාක්ෂි සපයන අතර විඛාදන වර්ණයක් සහිත මේ ජලය පෙරීමට ලක්වීමෙන් පසුව ක්ෂේත්‍රය වෙත ගමන් කරයි.

මේ, වැවක් සමන්විත වන තාක්ෂණික මෙවලම් වලින් කිහිපයක් පමණකි. තවත් විශාල සංඛ්‍යාවක් පවතී. ඒවා පිළිබඳව තවදුරටත් කියවීම හෝ ක්ෂේත්‍ර සංචාර තුළින් සොයාගැනීම ඔබට භාර කරමි.

මින්නේරිය වැව

රාජකාරි ක්‍රමය, අද පාරිසරික අභියෝග සහ ඉදිරි පියවර

මා මේ පරිච්ඡේදයෙන් අපේක්ෂා කරනුයේ රාජකාරි ක්‍රමය යළි ස්ථාපනය කිරීමක් පිළිබඳ යෝජනාවක් කිරීමට නොවේ. එය කළ නොහැකි දෙයකි. නමුත් ඒ වෙනුවට අද අප හඳුනාගෙන ඇති පාරිසරික සහ ආර්ථික අවුල් ජාලයේ මූලයන් සොයා ගැනීම අනාගත විසඳුම් දෙසට තබන වැදගත් පියවරක් වනු ඇත.

අවම වශයෙන් කිවහොත් අද ග්‍රාමීය ශ්‍රී ලංකාවේ පරිපාලනය ඇදහිය නොහැකි තරම් අභියෝගයකි. අපේ අද්විතීය පරිසරයට අනුකූල වන පරිදි ශ්‍රී ලාංකීය ජාතිය සහ ජනතාව කළමනාකරණය කළ ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැති කම සහ දේශපාලන නායකත්වයට ඉතිහාස පිටුවලින් නොමිලේ ලබාගත හැකි පාඩම් ඉගෙන නොගැනීම අද වනවිට ග්‍රාමීය පරිපාලනය සහ සමෘද්ධිමත් බව බිඳවැටීමට හේතුවී ඇත.

නිදහසින් පසුවද යටත් විජිත බලවතුන්ගෙන් අභිප්‍රේරණය ලැබූ පාලකයෝ,, අපේ පෞරාණික පාලන ක්‍රම ගැන සැලකිල්ලක් නොදැක්වූ අතර ජනතාවගේ ජීවිත නගා සිටුවීම සහ සංවේදී පරිසරය රැක ගැනීමට වඩා දේශපාලනය සහ ආදායම් එකතුකර ගැනීමේ අරමුණින් සිතියම පුරා අත්තනෝමතික ලෙස ඉරි ඇඳ ඊනියා පරිපාලන දිස්ත්‍රික්ක වලට බෙදූහ.

පැහැදිලි කිරීම සඳහා, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් විසින් 70 දශකයේදී ලියන ලද ‘The Rajakariya and the British’  හි කොටසක් උපුටා දක්වමි.

එක් උදාහරණයක් නම් 1932 දී කෝල්බෲක් කොමිසම නොදැනුවත් කමින් හෝ හිතාමතාම රාජකාරී ක්‍රමය අහෝසි කිරීමට නිර්දේශ කිරීමයි. එසේම කොමිසම පැරණි වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ හඳුනාගත්තද නඩත්තු කළ හැකි යන්ත්‍රසූත්‍ර විනාශ කිරීමටද යෝජනා කළේය. මේ නිර්දේශ ඉදිරිපත් කරන ලද කොමසාරිස්වරයා ප්‍රජා යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අවබෝධ කරගත්තාද නැතහොත් අනාදිමත් කාලයක සිට පැවත එන සිරිත් විරිත් වල තියුණු වෙනසක් ඇති කිරීමේ බලපෑම අවබෝධ කර ගත්තාද යන්න සැක සහිතය. නීතියේ ප්‍රායෝගික බලපෑම රාජකාරි ක්‍රමය අහෝසි කිරීමෙන් ඔබ්බට ගොසින්ය. එය සුරැකීමට අපේක්ෂා කළ එහිම මූලයන්ට බලපෑම් කර ඇත. වාරිමාර්ග කටයුතු පිළිවෙළට තබාගත හැකි මිනිසුන් අතර සහයෝගීතාවයේ බලය එතුළින් විනාශ විය. ප්‍රජා දේපළවල කොටසක අයිතිකරුට එය නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට බල කිරීමේ හැකියාව අහෝසි විය. මේ අනුව සෑම කෙනෙකුගේම ව්‍යාපාරය කිසිවෙකුගේ නොවූ අතර උදාසීන කීප දෙනෙකුගේ අනුග්‍රහයට නතු විය“

දශක කීපයක් තිස්සේ වූ පරිපාලනමය වැරදි අද අප පැමිණ සිටින තත්ත්වයට මූලික වී ඇත. වඩාත් හොඳින් කියනවා නම් එය අද අප වැටී ඇති තත්ත්වයට හේතුවයි. අප අවට පාරිසරික පරිහාණිය දෙස බලමු. මුහුදට ගලා බසිනා සියයකට අධික සුන්දර ගංගාවල් හැරුණුවිට ඇළ දොළ ආදී දිය පහර 1,500 කට අධික සංඛ්‍යාවක් අපේ ගම්මාන හා නගර හරහා සර්පයින් මෙන් ඇදී යයි. එසේම රටපුරා කුඩා වැව් 12,000 ත් 16,000 ත් අතර ප්‍රමාණයක් පවතිද්දී දිවයිනේ ග්‍රාමීය ජනයාගෙන් සියයට 90 ක් පමණ පිරිසිදු පානීය ජලය සොයාගැනීමේ අර්බුදයකට මැදීවී සිටින බව 2016 – 2019 ගම්මැද්ද වාර්තා වලින් හෙළි විය. මේ සත්‍යය මා හා මගේ කණ්ඩායම ඇස් දෙකටම දැක ඇත. වනාන්තර විනාශය හේතුවෙන් සිදුවන පාංශු හායනය මෙන්ම පරිසර පද්ධතියේ පෝෂණයට වන හානියට අමතරව ස්වභාවික වායු පෙරණයක් ලෙසින් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තුලනය කිරීම සහ විෂකාරක ඉවත් වීමටද දැඩි බලපෑම් එල්ල කර ඇත.

කලා වැව (ඡායාරූපය - සංජීව එදිරිසිංහ)

කලා වැව (ඡායාරූපය – සංජීව එදිරිසිංහ)

තෙන්නකෝන් මහතාට අනුව හොඳින් වැඩුනු ශාකයක්කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 22.5 අවශෝෂණය කර ගනී.ගොවීන්ට ගොවිතැන් කිරීමේ අවශ්‍යතාව මත රාජ්‍ය වනාන්තර වලින් සැලකිය යුතු කොටසකට ආරක්ෂාව සැලසූ ගැසට් නිවේදනයක් ( අවශේෂ කැලෑ ) අවලංගු කරන බව මෑතකදී රජය නිවේදනය කළේය. මෙය සියවස් ගණනාවක් තිස්සේ ජාතියක් වශයෙන් පෙනී සිටි සහයෝගීතාව සහ තිරසර බව පදනම් කරගත් සාඩම්බර සංස්කෘතියේ සියලු අංගවලට පටහැනිය. කවුරුන් විසින් කරනු ලැබුවද, මෙවැනි කෙටිකාලීන දේශපාලන තීරණ විසින් විනාශ කෙරෙන්නේ ඉදිරි පරම්පරාවල යහපැවැත්මයි.

“ 1940 දක්වා උතුරු මැද පළාතේ වියළි කලාපයේ සෑම සම්ප්‍රදායික ගම්මානයක්ම වනාන්තරයකින් එකිනෙක වෙන්ව පැවතුණි. එම නිසාම බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් භාගයේදී මේවා හැඳින්වුණේ කැලෑවේ පිහිටි ගම්මාන වශයෙනි. සිය ගම්මාන වනාන්තරයෙන් වටවී ඇති බැවින් ගම්වැසියනට යාබද ගම්මානය දිස් නොවුනි. අද තත්ත්වය බොහො සෙයින් වෙනස්වී ඇත. කටු පඳුරු ළඳු කැලෑ හෝ හුදෙකලා ගස් පමණක් එම ගම්මාන වටා ඉතිරිව ඇති බැවින් එක් ගම්මානයක සිට අවට ගම්මාන සියල්ල දැක ගැත හැකිය. 20 වැනි සියවස මැද භාගයේ ගම්මාන පුළුල් කිරීමේ වැඩසටහන යටතේ වැව් බැම්ම කෙළවර පිහිටි ගංගොඩ හෙවත් නිවාස පොකුරු වෙනුවට ගම්මානයේ මාර්ග දෙපස පීත්ත පටියක ආකාරයෙන් රජයෙන් ලබාදුන් ඉඩම් වල වනවැස්ම දුර්වල කරමින් ජනාවස බිහිවිය. මේ ගම් පුළුල් කිරීම, හේන් ගොවිතැන සඳහා වනාන්තර හෙළි පෙහෙළි කිරීම සහ වනතීරු නඩත්තු නොකිරීම, තවමත් විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුමටද මූලික විය.“

එම්.යූ. . තෙන්නකොන්, Cascade based Tank Renovation for Climate Resilience Improvement-

පහසුවෙන් දර්ශනය වන වන විනාශය හැරුනු විට අපේ ආර්ථික ගමන් මගේ කොටසක් ලෙස සංරක්ෂණයට සිදුවූ ඛාදනය පහසුවෙන් දිස් නොවන ගැටළු වලට හේතුවී ඇති අතර එහි ප්‍රතිවිපාක අද වනවිට සෑම ස්ථරයකටම දැනී ඇත.

පාංශු ප්‍රශ්න, අවසාදිතවීම්, ජලයේ ගුණාත්මක භාවය තර්ජනයට ලක්වීම, නයිට්‍රජන් සහ පොස්පරස් එක්රැස්වීම ඉහළයාමෙන් ඒවා භූගත ජලයට එක්වීම සහ ලවණතාව, අද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින පාරිසරික ගැටළු වලින් කීපයකි. මේවා අපේ ග්‍රාමීය ජලයට හෝ පරිසරයට සීමා වූ දේ නොවන අතර අප සිතනවාට වඩා බරපතල ලෙස නාගරික පරිසරයටද බලපායි. උදාහරණයක් වශයෙන් කොළඹ සිටින ජනතාවට ආහාර ලැබෙන්නේ කොහි සිටදැයි ඔබ සිතනවාද?

තිස්ස වැව (ඡායාරූපය – සංජීව එදිරිසිංහ)

අතීත ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ පද්ධතිය එහි තාක්ෂණයෙන් සහ සංවිධාන ශක්තියෙන් ලොව අසමසම නිර්මාණයක් බව කීර්තිමත් විද්වතෙකු වන ජෝෂප් නීඩ්හැම් මහතා වරක් සඳහන් කර තිබේ.

එසේ නම් එය මානව සංහතියේම විශ්වීය සංස්කෘතික උරුමයකි. එක්සත් ජාතීන් ලෝක ජල උරුම පද්ධතියක් ලෙස පිළිගැනීම මෙහි ප්‍රතිඵලයකි.

4 වන විජයබාහු රජතුමන් ඉන්දීය ආක්‍රමණ හමුවේ වසර ගණනාවක් නොසලකා හැරුණු පොළොන්නරුවේ වැව් යථා තත්ත්වයට පත්කිරීමේ දැක්ම වෙනුවෙන් සිය සේනා පිටත් කර යැවූ අයුරු චූලවංශය (88.37-42) සඳහන් කරයි. මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් සහ ශිල්පීන් සහයෝගය දීම මග හැරි අවස්ථාවේ රජතුමා ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සහාය දිනාගත් අයුරුද එහි සඳහන්ව ඇත. වැව් පුනරුත්ථාපනය කිරීමේ රජතුමාගේ උත්සාහයට සහාය පල කිරීම සඳහා කාන්තාවන් සිය දරුවන්ද කැටිව වීදි බැස සිටි බවද චූලවංශයේ සඳහන් වෙයි.

අපේ රජතුමා තනියම. අපි ඔහු පසුපස යමු.”

මෙය දුටු අමාත්‍යවරුන් සහ ශිල්පීන් ලැජ්ජාවට පත්වූ අතරම රජුගේ උත්සාහයට සහාය පල කිරීමට එතුළින් ඔවුනට බල කෙරුණි.

විජයබාහු රජතුමන්ගේ එම උත්සාහයේ ප්‍රතිඵලය අදටත් පොළොන්නරුවේ විද්‍යමාන ය.

අප ජාතියක් වශයෙන් අනාගත අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද?

ශ්‍රී ලාංකීය වැව, ඔබේ මනසට ගන්න. අපිට එක්සත් වුව හොත් කළ නොහැක්කක් නොමැති බවට, එය කදිම සාක්ෂියකි.

 

පරිශීලනය කළ ග්‍රන්ථ

Water Heritage of Sri Lanka

-D.L.O Mendis

The History of Irrigation and Agriculture Colonization in Ceylon

-Brohier

Cascade Based Tank Renovation for Climate Resilience Improvement

-Tennakoon

An Introduction to The Economic Potential of The Rivers and Streams of Sri Lanka

-Samarasekera

පුරාණ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය – ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]