.webp)
බංගලාදේශයෙන් හම්බෙන ඩොලර් මිලියන 150 අර කළින් ඉන්දියාවෙන් හම්බෙච්ච 400 වගේ තමයි. මේක ස්වොප් එකක්. එහෙමත් නැත්නම් කෙටි කාලීන හුවමාරුවක්. මාස 3යි. මාස 3න් ආයේ ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් එක පාරක් ඒක රිනිව් කරගන්න පුළුවන්, තව මාස 3කට. එතකොට මාස 6යි, හැබැයි ඊට වඩා රොල් ඕවර් කරනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇග්‍රීමන්ට් එකකට එන්න ඕනේ. ඊට පස්සේ චීනෙන් හම්බෙලා තියෙන්නේ මිලියන 2000ක්, ඒ තමයි කළින් එකඟ වෙච්ච ඩොලර් බිලියන 1.2 අවසාන ලැබීම. මේ හම්බෙන ඒවා යුවාන්වලින් හම්බෙන්නේ, ඒවා ඕනේ නම් යුවාන්වලින් බිල දාලා ආනයනය කරනවා නම් ඒවට ගෙවන්න පුළුවන්, නැතුව මේ ණය ගෙවන්න බෑ මේ සල්ලිවලින්. ඊළඟට කියනවා මේ අයි.එම්.එෆ් එකෙන් ඩොලර් මිලියන 787ක් ගෙවන්න පුළුවන් කියලා, දැන් මේ ඩොලර් මිලියන 787ක් ලැබුණේ, හැම රටටම අයි.එම්.එෆ් එකෙන් ලැබුණා. 2021 ඉතුරු මාස කිහිපය තුළ අපිට ණය වාරිකයයි පොලියයි ගෙවන්න තියනවා ඩොලර් මිලියන 900ක්. ඊළඟට 2022 පළමු කාර්තුවේ අපිට ජාත්‍යන්තර බැඳුම්කර විතරක් තියනවා ඩොලර් මිලියන 500ක්. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තියනවා ඩොලර් මිලියන 943ක්, පොලිය තියනවා ඩොලර් මිලියන 375ක්. ඒ කියන්නේ පළවෙනි කාර්තුවේ විතරක් තියනවා තවත් ඩොලර් බිලියන 1.8ක්. ඒ කියන්නේ මේ 21 ඉතුරු මාස කිහිපයේයි, එන අවුරුද්දේ පළවෙනි කාර්තුවෙයි විතරක් සාමාන්‍ය ණය ඇරුණහම ඒ කියන්නේ ලෝක බැංකුවෙන් චීනයෙන් ඉන්දියාවෙන් ඇරුණහම මේ ගෙවන්න තියන ණය විතරක් තියනවා ඩොලර් බිලියන 2ක්. මිලියන 2000ක්. ඊට පස්සේ දැන් අද අපි දකිනවා මෙච්චර කල් අපිට ලැබිච්ච ප්‍රශ්න පළවෙනි පාර ජූනි මාසේ අගෝස්තු මාසේ , අඩුවෙමින් පවතිනවා, එක පැත්තකින් ප්‍රශ්නත් අඩු වෙනවා නම් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් ලැබෙන්නෙත් නැත්නම් අපිට වාණිජ වෙළෙඳපොළට යන්න කිසිම හැකියාවක් නෑ ජාත්‍යන්තරේ. අපිට ඩොලර් නෑ. මේ කෙටි කාලීන හුවමාරු හරහා සංචිත ශක්තිමත් කරගත්තා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ.අදායම ඉක්මවා යන රටේ වියදම පිළිබඳව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදහස් පළ කළේය.
ජනවාරි ඉඳලා ජූලි මාසේ වෙනකන් රජයේ මුළු ආදායම රුපියල් බිලියන 800යි, ජනවාරි ඉඳලා ජූලි වෙනකන් රජයේ මුළු වියදම රුපියල් බිලියන 1765යි, ඊළඟට රජයේ සමස්ත අයවැය හිඟය මේ මාස 8 ට රුපියල් බිලියන 965යි. ඒ කියන්නේ හිතන්න ආදායම බිලියන 800යි, හිඟය ඊට වඩා වැඩියි. 965යි. ඉතින් කොහොමද මෙහෙම රටක් දුවන්නේ. මේක තිරසාර වැඩපිළිවළක් ද. ඉතින් ආණ්ඩුව තේරුම් ගන්න ඕන දැන් ඒගොල්ලො තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට මේ ක්‍රමේට ආණ්ඩුවට යන්න බැහැ. ආණ්ඩුව තීරණයක් ගන්න වෙනවා ,මොකක්ද අපි කරන්නේ කියලා. අපි නැවතත් බලාපොරොත්තු වෙන්නේ පෝලිමේ ඉඳලා සීනි ග්‍රෑම් 150-100 ගන්නද? එහෙම නැතිනම් පාන් බාගයක් පාන් කාලක් ගන්න ද? එහෙම නැතිනම් හාල් ග්‍රෑම් 250 ක් ගන්නද? එතනට යන්න ද මහා ලොකු වියත්මග ගෙනල්ලා මහා විශාල ඩිජිටල් ශෝ දාලා, සිස්ටම් චේන්ජ් කරලා වියතුන් එකතුවෙලා රට සෞභාග්‍යය කරා ගෙනියනවා කියලා මිනිස්සු රවට්ටලා ජාතිවාදය අවුස්සලා කරේ, හාල් පෝලිමේ ගිහිල්ලා ග්‍රෑම් 250ක් ගන්නද? ඉතිං එතැනට යන්න ඕන නං එතනට යන්න පුළුවන් මේ හදිසි නීතිය හරහා. හැබැයි ඒක නෙමේ අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. සෞභාග්‍ය කිව්වම බලාපොරොත්තු වෙන්නේ සව් බාගය නෙමෙයි.