රජයේ වියදම් සීමා කරන්න - මුදල් ඇමති බැසිල්

රජයේ වියදම් සීමා කරන්න, අනවශ්‍ය වියදම් කපා හරින්න - මුදල් ඇමති බැසිල් කැබිනට් මණ්ඩලයට කියයි..

by Staff writer 31-08-2021 | 3:52 PM

COLOMBO (NEWS1ST) : රජයේ වියදම් සීමා කිරීම මෙන්ම අනවශ්‍ය වියදම් කපා හරින්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පවසා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(30) කැබිනට් රැස්වීමේදී කරුණු පැහැදිලි කර තිබේ. මේ අනුව දැනටමත් වැඩ ආරම්භ කර ‌නොමැති ව්‍යාපෘති ඇත්නම්, ඒ සම්බන්ධව ප්‍රගති සමාලෝචනය කර තීන්දුවක් ගන්නා ලෙසත්, අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් හා අනවශ්‍ය දීමනා ලබා දෙනවා නම් ඒවා නතර කිරීමටත් මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබ තිබේ. දැඩි මූල්‍ය විනයක් පවත්වා ගන්නැයි ද එහිදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.