දත්ත පද්ධතිය මැකීයාමේ ගැටලුව CIDයට

දත්ත පද්ධතිය මැකීයාමේ ගැටලුව CIDයට - සෞඛ්‍ය ඇමති කෙහෙළිය

by Staff writer 31-08-2021 | 9:23 PM

COLOMBO (News 1st) - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම පිළිබඳ ගැටලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ, එම වාර්තාව ලැබුණු පසුව ඉදිරියේදී මේ පිළිබඳව නිල වාර්තාවක් ඉදිරිපත් කරන බවය. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා මේ පිළිබඳව ඊයේ(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළේය.
එක්කෝ මේ දත්ත මකලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන් හෝ ඊට අදාළ පෞද්ගලික ආයතනයේ අනුදැනුමකින්. එහෙම නම් ඒ රහස්‍ය අංකය ලබාදීලා තියෙන සිව්දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා මේකට වග කියන්න ඕනේ හා ඔවුන් දැනුවත්ව හා ඔවුන්ව යොදවාගෙන ඒ කටයුත්ත සිද්ධ කරන්නට ඔනේ. නැත්තම් ඊටත් වඩා භයානකයි ඒ 4 දෙනාත් නොදැනුවත්ව මේකට වෙනත් පාර්ශවයක් ඇතුළු වෙලා මේ දත්ත මකා දමන්න ඕනේ. එහෙම කලා නම් මේකේ ප්‍රතිඵලය මීට වඩා භයානක වෙන්න පුළුවන්. මොකද ඒක ඖෂධවලට විතරක් බලපාන එකක් නෙවෙයි. මේ 4 දෙනා නොදැනුවත්ව කිසියම් කෙනෙක් බලහත්කාරයෙන් ඇතුල් වෙලා තියෙනවා නම් ඒක රටේ ආරක්ෂාව හා ආරක්ෂිත තොරතුරු හා සමස්ත රටේ තියෙන ආරක්ෂිත තොරතුරු සම්බන්ධයෙන් ගැටලුවක්. ඒක ඩේටා ස්කෑම් එක්ක බවට පරිවර්තනය වෙන්න ඉඩකඩක් තියෙනවා.
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,
මුරපදය දන්නේ 04 දෙනාද 06 දෙනාද 10 දෙනා ද කියන කාරණය විවිධ පුද්ගලයින් විසින් කරපු ප්‍රකාශ. කෙටි කාලසීමාවක් තුළ ඉදිරිපත් කරපු අයැදුම් පත්වල තිබුණු කරුණු තමයි මේ මැකී යාමක් සිදුවෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න කොළ මාර්ගයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලබාදුන්නු ඒවා තියෙනවා. මේ අලුත් පද්ධතිය හඳුන්වාදුන්නායින් පස්සේ ඇතුළු කරපු දත්ත තමයි මැකිලා තියෙන්නේ. මේ දත්ත තුන්වැනි පාර්ශවයක් අතට ලැබීම වළක්වන්නත් ඉන් මේ රටේ ජනතාවට කිසියම් අවඩැක් නොවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. ඉතින් මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම මීට පෙර රටේ ඇති වුණු තත්ත්වයන් පෙන්වා දෙනමින් ඉන් දේශපාලන වාසි ගන්න ඇතැමුන් උත්සාහ කරනවා.
කනිශ්ක ලැනරෝල් මහතා,
අපිට සැකයක් තියෙනවා මේ තොරතුරු මැකීයාම පිටිපස්සේ මේ ගජ මිතුරන් මේ කල්ලිය නැවත ඉන්නවාද කියලා සැකයක් තියෙනවා. මොකද මේ තොරතුරු මැකීයාමත් එක්ක මොවුන්ට පුළුවන් වෙනවා මේ වසංගත තත්ත්වය අස්සේ තවත් එන්නත් ගෙනල්ලා තවත් බෙහෙත් ද්‍රව්‍ය රටට ගෙනල්ලා ඒවාගෙන් අධික ලාභ ලබන්න. මීට කලින් අපි දැක්කා මේ NMRA එක කියන ආයතනයේ සභාපති ඇතුළු සාමාජිකයෝ 7 දෙනෙක් ඉවත් කරනවා. කලින් හිටපු සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් ඒ වගේම විශේෂඥ වෛද්‍ය ලක් කුමාර ප්‍රනාන්දු විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ ඇතුළු සාමාජිකයින් 7 දෙනෙක් ඉවත් කරනවා. අපිට බරපතල සැකයක් තියෙනවා ආණ්ඩුව මේ 7 දෙනා ඉවත් කරලා තමන්ට මෙහෙය වන්න පුළුවන් පිරිසක් මේකේ මේ දාගෙන මේ සැරසුනේ දීර්ඝ කාලින මංකොල්ලේකටද කියලා සැකයක් අපිට තියෙනවා. දැන් කෝ ජාතික ආරක්ෂාව? ආණ්ඩුවේ ක්ලවුඩයේ තොරතුරු ටික මැකිලා යනවා ආණ්ඩුව දන්නේ නෑ