දිනේෂ්ට නන් දෙසින් සුබ පැතුම්!

රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්තට ජනපති, අගමැති ඇතුළු බොහෝ පිරිසකගෙන් සුබ පැතුම්!

by Staff writer 30-08-2021 | 4:39 PM

COLOMBO (News 1st) – පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ජනපති, අගමැති ඇතුළු බොහෝ දෙනා සුබ පැතුම් එක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වන්නේ, සෙබළෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කර, ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අප මාතෘ භූමියේ නම සනිටුහන් කිරීමට කළ මෙහෙවර විශිෂ්ට බවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දිනේෂ් ප්‍රියන්තට සුබ පැතුම් එක් කළේය. දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකා මව අභිමානයට පත් කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි. දිනේෂ් ප්‍රියන්තගේ ජයග්‍රහණයට සුබ පැතුම් පිරි නමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කර තිබුණි. නව ලෝක වාර්තාව හා ලැබූ රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.