ඖෂධ දත්ත පද්ධතිය මැකීයාම ගැන වහා පරීක්ෂණයක් ඉල්ලා නලීන් බණ්ඩාරගෙන් CID යට පැමිණිල්ලක්...

by Staff writer 30-08-2021 | 10:28 PM

COLOMBO (News 1st) - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම පිළිබඳව වහා පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ.

ඔහු සිය පැමිණිල්ලේ පෙන්වා දී ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත හදිසියේ අතුරුදහන්වීම 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 24 සහ 130 යන වගන්තිවල සඳහන් ප්‍රතිපාදනවලට එරෙහිව කටයුතු කිරීමක් බවයි. සමගි ජන බලවේගයේ පා.ම, නලීන් බණ්ඩාර මහතා,
මේ රජයට අතිශය සංවේදි රහස්‍ය දත්තයක් අතුරුදහන් වීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් විදියට අපි දකිනවා. විශේෂයෙන් මේකට සම්බන්ධ දේශපාලඥයන් රජයේ නිලධාරීන් හා ව්‍යාපාරිකයෝ මේ සියලු දෙනාගෙන් ප්‍රශ්න කරලා ඖෂධ පාලනය ඖෂධ මිල නැවත මාෆියාවට ගජ මිතුරන්ට එහෙම නැත්තන් ව්‍යාපාරික පැලැන්තියකට යන එක නතර කරන්න වහාම කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කියන එකත් ඒ පිළිබඳව අපිට තොරතුරු පාර්ලිමේන්තුවටත් රටටත් හෙළිදරව් කරන්න අවශ්‍ය නිසා තමයි අද ‍මේ විදියට පැමිණිල්ලක් කරන්න ආවේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,
ඖෂධ අධිකාරිය කියන්නේ ඖෂධ සම්බන්ධව තියන ප්‍රධාන මූලස්ථානය. ඒ මූලස්ථානයේ පාලනය මාෆියාවකින් අතට ගත්තා වගේ වැඩක් මේක. සියලුම අයව අත්අඩංගුවට ගැනීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට, සෞඛ්‍ය ලේකම්වරයාට. සෞඛ්‍ය ලේකම්වරයා මේ වෙද්දී පියවර ගත යුතුව මිසක් සභාපතිතුමා ඔබතුමා කටවහගෙන ඔබතුමා අත්අඩංගුවට ගන්න සැරසෙන්න. පළමුවෙන්ම කියන්න ඕනේ රජය මේ තනතුරුවලට දැම්මේ ඉතිහාසයක් බලලා නෙමෙයි, වියත්මග කියන සංවිධානයට කඩේ ගියා කියලා ඒ පදනම මත තමයි සභාපතිවරුන්ව පත් කරලා තියෙන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මේ විපාක විදින්නේ වියත්මගේ විපාකය. ඒක දැන්වත් නිවැරදි කරගැනීමේ හැකියාවක් නැත්නම් අපි මේ රටක් වශයෙන් මට හිතෙනවා මේවට එරෙහිව නැගිටින්න ඕනේ කියලා. මේක අනිවාර්යෙන්ම අත්අඩංගුවකට ගැනීමකින් අනතුරුව පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ