දත්ත අතුරුදන්වීම පිටුපස සිටින අය කවුරුන්ද? 

රජයේ ක්ලවුඩ් පද්ධතිය තුළ තිබූ ඉතා සංවේදී දත්ත අතුරුදන්වීම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේද?

by Staff writer 29-08-2021 | 10:27 PM

COLOMBO (News 1st) - කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තාවන අතරවාරයේ අපේ රටේ ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා අනුමැතිය ලබාදෙන ආයතනය වන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබේ.

මේ ඒ පිළිබඳව තොරතුරු අනාවරණයකි. අපේ රටේ ඖෂධ හා වෛද්‍ය උපකරණ භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අත්‍යවශ්‍යයි. අනුමැතිය ලබාදුන් ඖෂධ හා වෛද්‍ය උපකරණවලට අදාළව බලපත්‍ර අලුත් කිරීම ද වරින් වර සිදු වේ. ඖෂධ නියාමන අධිකාරිය 2018 දී මෙම අනුමැතීන් ලබාදීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු කිරීමට මුල පිරුවේ ය. මෙම දත්ත ගබඩා කෙරුණේ, ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය හෙවත් පරිගණක දත්ත අවකාශය තුළයි. පෞද්ගලික සමාගමක් විසින් එම දත්ත පද්ධතිය කළමනාකරණය සිදු කළ අතර පසුගිය දිනක හදිසියේ එහි දත්ත මැකී ගොස් තිබුණි. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පාර්ශ්ව කිහිපයකින් කරුණු විමසීම ද සිදු කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, වෛද්‍ය රසිත විජේවන්ත මහතා,
එපික් ලංකා කියන ආයතකය ඔවුන් තමයි සේවා සපයන්නේ අපිට. ඔවුන් කියලා තියනවා රිකවරි කරගන්න පුළුවන්. මේ දත්ත නැතිවීමක් වෙලා නෑ. අර මැපින් ප්‍රොසෙස් එක තමයි නැතිවෙලා තියෙන්නේ. එතකොට එයාලා ඉල්ලනවා ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් එකේ රිකවරි ප්‍රොසෙස් එක සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. රිකවරි ප්‍රොසෙස් එක අයිසීටී ආයතනය තමයි මොනිටරින් බොඩි එක විදියට ඉදගෙන මොරටුව යුනිවර්සිටි එකෙත් සහයෝගය ලබාගෙන සී අයි ඩී ඒ එකේ උපදෙස් පරිදී තමයි අදාළ රිකවරි ප්‍රොසෙස් එකට යන්නේ. අපි මැනුවල් ප්‍රොසෙස් එකේ දිගටම කරගෙන ගියා. ඒ නිසා කිසිම විදියකින් බියක් ඇති කරගන්න ඕනේ නෑ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිඟ වෙනවා කියලා.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,
මේක අර බොන්ඩ් ස්කෑම් එක වගේ ඩේටා ස්කෑම් එකක්. මේක ඉදිරියේදී තව තව වර්ධනය වෙයි මේකෙන් එළියට යන තොරතුරුත් එක්ක ඇති වන ගැටලු, මොන තොරතුරු ද එළියට අරන් තියෙන්නේ, මොන තොරතුරු ද එළියට ගිහින් තියෙන්නේ, කවුද ඒවා ගත්තේ, මොකටද ඒවා ගත්තේ , කියන කාරණාවන් අපි දන්නේ නෑ, ඒ නිසා මේ පිළිබඳව මීට වඩා වේගවත් පරීක්ෂණයක් කරන්න කියලා අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,
මේවා ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් බවට පත් වෙනවා. අලුතින් ඖෂධයක් හඳුන්වාදීම පිළිබඳව මූලිකව තීන්දු තීරණ ගන්න ආයතනයකදී ඉතිහාසමය වශයෙන් ඒ දත්ත මැකීයාම පිළිබඳව බලද්දී ඕනම කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙනවා මේ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා ද ඖෂධ මාෆියාවක උවමනාවක් වෙනුවෙන් එවැනි ජාවාරමක උවමනාවක් වෙනුවෙන් මේ දත්ත මැකීමේ ක්‍රියාව සිද්ධ කරාද කියලා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,
ඖෂධ සම්බන්ධව ඉන්න මහාචාර්යතුමා ඊළඟ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන්න ඕනේ මොකක්ද මේ දත්ත ගබඩාවට උනේ. ඒ නිසා හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ වෙයිද දන්නේ නෑ, ඡන්න ජයසුමන මහත්තයාගෙන් මේ දත්ත ගැන අහන එක. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක රජය දැනුවත්ව හිතාමතා ක්‍රියාත්මක කරපු එකක්. මේ සිස්ටම් එක නැති කරගත්තට පස්සේ ඖෂධ මාෆියාවට දොර විවෘත වෙනවා තමන්ගේ ජාවාරම් කරන්න.
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා,
මේ තොරතුරු පද්ධතියට හානියක් වුණා නම් පළමුවෙන් වගකිව යුතු 5 දෙනෙක් පේනවා අපිට මේ මුරපදය දන්න 4 දෙනා සහ මේ තොරතුරු පවත්වාගෙන ගියපු එපිඩ් ලංකා කියන ආයතනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවම මේ ගැන ප්‍රශ්න කරලා නැහැ. ඇත්තටම අපිට මේ නිසා අහන්න වෙන්නේ මේ තොරතුරු පද්ධතිය එතරම් වැදගත් නැති එකක් ද ? මේ තුළින් ඖෂධ ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑමට එතරම් උවමනාවක් නැද්ද? එහෙම නම් මොකටද ඖෂධ නියාමන අධිකාරියේ මහත්වරු තාවකාලික ලියපදිංචිය සඳහා කියලා පත්‍රයක් බහු ජාතික සමාගම්වලට යවන්නේ? මේ තොරතුරු පද්ධතියේ බැකප් එකක් තිබුණේ නැද්ද ? ආරක්ෂක ලේඛන පද්ධතියක් තිබුණේ නැද් ද?
රජයේ ක්ලවුඩ් පද්ධතිය තුළ තිබූ මහජනතාවට අදාළ වූ ඉතා සංවේදී දත්ත මේ අයුරින් අතුරුදහන්වීම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ ද? මේ පිටුපස සිටින පුද්ගලයින් කවුරුන් ද?