by Staff writer 28-08-2021 | 9:40 PM
COLOMBO (News 1st) - පවතින නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය සැප්තැම්බර් 18 වැනිදා දක්වා දීර්ඝ කළහොත් මිනිස් ජීවිත 7,500ක් බේරාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පත්කර ඇති ස්වාධීන තාක්ෂණික කමිටුව පෙන්වා දෙයි.
ඔවුන් නිර්දේශ කරන්නේ එම තත්ත්වය ඔක්තෝබර් 02 වැනි දා දක්වා පවත්වා ගතහොත් ජීවිත 10,000ක් ආරක්ෂා කරගත හැකි බවටයි.
ඊයෙන්(27) අවසන් වූ දින 07 තුළ ජනගහනයෙන් ලක්ෂයකට ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය සියයට 5.52 ක් බව ද එම කමිටුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඩෙල්ටා ව්‍යාප්තියේ වේගය මේ තත්ත්වයට බලපා තිබේ.
අගෝස්තු මස 30 වැනිදායින් අවසන්වන දින 10ක් තුළ රට වසා තැබීමෙන් ආර්ථිකයට වෙන බලපෑම අමෙරිකානු ඩොලර් බිලියන 1.12 කි.
එය සැප්තැම්බර් මස 18 වැනිදායින් අවසන්වන සේ සති 04ක් දක්වා දීර්ඝ වුවහොත් එම බලපෑම බිලියන 1.67ක් බවත් ස්වාධීන තාක්ෂණික කමිටුව පෙන්වා දෙයි.
ඔක්තෝබර් 02 වැනිදායින් අවසන් වන සති 06ක ලොක්ඩවුන් තත්ත්වයකදී ආර්ථිකයට වෙන බලපෑම අමෙරිකානු ඩොලර් බිලියන 2.22 කි.
කෙසේවෙතත් ලෝකයේ සහ දේශීය තත්ත්වයන් අනුව පෙන්නුම් කරන්නේ මෙම ආර්ථික බලපෑම් තාවකාලික තත්ත්වයන් බවත් රට නැවත විවෘත කිරීමේදී එය යථා තත්ත්වයක පත්වනු ඇති බවත්ය.
මේ වනවිට ශ්‍රී ලංකාව රතු අවදානම් තත්ත්වයක පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පත්කර ඇති ස්වාධීන තාක්ෂණික කමිටුව පෙන්වා දෙයි.