කොරෝනාවට බිලි වූ සිව්වන හෙදියත් ජීවිතයෙන් සමුගනී..

ජීවිත දහස් ගණනක් රැකගන්න, කොරෝනා වෛරසය සමග සටන් කළ තවත් සුව වීරවරියක් රටට අහිමි වෙයි..

by Staff writer 28-08-2021 | 9:43 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසයෙන් අපේ ජනතාව බේරා ගන්න ඉදිරිපෙළ සටනේ නිරත තවත් වීරවරියක් ඊයේ(27) තම ජීවිත සටන අවසන් කළා ය.

ඒ, කොරෝනා වෛරසයෙන් ජීවිත බේරා ගැනීමට කටයුතු කරමින් සිටියදී වෛරසයට ගොඳුරු වූ සිව්වන හෙදිය ලෙසින් වාර්තා අතරට එක්වෙමිනි. ඇය ඉන්දු අමරසිංහ, ඉන්දු අමරසිංහ මිනුවන්ගොඩ මූලික රෝහලේ සිටි කාගෙත් හිත් දිනාගත් හෙද පාලිකාවකි. 56 හැවිරිදි වියේ පසු වූ ඇය මිනුවන්ගොඩ රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කර ගැනීම ආරම්භ කිරීමටත් පෙර ඒ වෙනුවෙන් කැප වූ හෙද පාලිකාවකි. ඒ සඳහා තාවකාලික වාට්ටු ඉදි කිරීමට පැමිණි හමුදා සාමාජිකයින් හට තම නිවසින් ආහාර පාන පවා රැගෙන ගොස් කුසගිනි නිවීමට තරම් ඇය කාරුණික විය. මිනුවන්ගොඩ රෝහලේ කොරෝනා දෙවන වාට්ටුව භාරව කටයුතු කළ ඇය දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවකි. සුවහසක් රෝගීන්ට සුව කරන්නට මවක මෙන් කැප වූ ඇය ඒ රුදුරු කොරෝනා වෛරසයේ ගොඳුරක් බවට පත්වෙමින් ඊයේ සිය දෙනෙත් සදහටම පියාගත්තා ය. තමන්ගේ කියා කිසිවෙකුත් නොමැති බිමක, නොපෙන වෛරසයක් සමග ජීවිත අරගලයක් කරන අපේ ම මිනිස්සුන් සුවකරලන්නට තවමත් නොනිමි සටන නිරත සුව විරුවනි, ඔබට ජාතියේ උත්තමාචාරය..!!