එන්නත්කරණයේදී ඊළඟ ප්‍රමුඛතාව 30 න් පහළට ද? 60 න් ඉහළට ද?

by Staff writer 27-08-2021 | 10:40 PM

COLOMBO (NEWS1ST) :  එන්නත්කණයේදී ඊළඟට ප්‍රමුඛත්වය දිය යුත්තේ වයස අවුරුදු 30 න් පහළ පිරිසට පළමු හා දෙවන එන්නත් මාත්‍රා ලබා දීම සඳහා ද එසේ නැතිනම් අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබා දීම සඳහා ද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ, අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, තවත් සති දෙකක් ඉක්ම ගිය පසුත් තත්ත්වය මෙ‍ලෙසින්ම පැවතිය හොත් වෛද්‍ය විද්‍යානුකූලව ඊට මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බවයි.
''දැන් අපි එන්නතේ පළමු මාත්‍රාව 100%ක් ම වගේ දීලා. දෙවන මාත්‍රාවෙත් 56%ක විතර ඉන්නවා. ‌මේ 31 වෙනකොට එන්නත දීලා 85%ක් විතර කරගන්න පුළුවන් එහෙම වෙලා තවත් සුමාන 2ක් අපි දුන්නොත් ඊටත් පස්සෙත් මේ තත්ත්වය තියෙනවා නම්, වෛද්‍ය ක්ෂේත්‍රයෙන් මීට වඩා එහාට ගිහිල්ලා බලන්න වෙයි කොහොම ද මේකට මුහුණ දෙන්නෙ කියලා, දැන්මම ඩොක්ටර්ස්ලා, කමිටු පත් කරලා එහෙම අධ්‍යනයක් කරන්න වෙයි මොනවගේ ඒව ද කරන්න පුළුවන් කියන එක''
මෙම කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 වන දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ.